ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ, පර්යේෂකයන් කණ්ඩායමක් රෝග වාහක විභවයක් සහිත නව මදුරු විශේෂයක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
Culex cinctellus ලෙස නම් කර ඇති මෙම මදුරු විශේෂය, මීට පෙර මිනිස් රුධිරය උරා බොන බව වාර්තා නොවුණත්, ශ්‍රී ලංකාවෙන් සොයාගත් මෙම විශේෂයේ මදුරුවන් මිනිස් රුධිරය උරා බොන බවයි පර්යේෂණ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ගයාන් කුමාරසිංහ මහතා හෙළිකළේ.
Culex (Lophoceraomyia) cinctellus ලෙස හඳුන්වන මෙම මදුරු විශේෂය ප්‍රථම වරට 1922දී හමුවී තිබෙනවා.
ඔවුන් ප්‍රධාන වශයෙන් ආසියාවේ උෂ්ණ හා උපඋෂ්ණ කලාපීය රටවල වාසය කරන අතර, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය ඒ අතර වනවා.
කෙසේ වුවත්, එම රටවල වාර්තා වූ C. cinctellus මදුරුවන් මිනිස් රුධිරය උරා බොන බවට වාර්තා නොවුණත්, ශ්‍රී ලංකාවෙන් සොයාගත් මෙම නව විශේෂයේ මදුරුවන්, සියවසකට පසු, මිනිස් රුධිරය උරා බොන බව සනාථ වූ බවයි ගයාන් කුමාරසිංහ මහතා පෙන්වා දුන්නේ.
ඔහු මෙසේද සඳහන් කළා…
“මෙම මදුරු විශේෂය අපට මුලින් හමුවුණේ කුරුල්ලන් ආකර්ෂණය කරන උගුලකින්. එබැවින් අපි මුලින් සිතුවේ මෙය කුරුල්ලන්ගේ රුධිරය උරා බොන මදුරු විශේෂයක් බවයි. නමුත් දිගින් දිගටම කළ පර්යේෂණවලදී අපට පැහැදිලි වුණා මෙම මදුරුවන් කුරුල්ලන්ගේ මෙන්ම මිනිසුන්ගේ රුධිරය උරා බොන්නත් රුචිකත්වයක් දක්වන බව.”
“C. cinctellus මදුරුවන් ශ්‍රී ලංකාවේ බරවා රෝගය බෝකරන C. quinquefasciatus මදුරුවාට බාහිර රූපයෙන් හා ජානමය වශයෙන් බෙහෙවින් සමානයි. නමුත් බරවා රෝගය බෝකරන මදුරුවා රාත්‍රී 8න් පසු මිනිස් රුධිරය උරා බොන අතර, මෙම මදුරුවා සවස 5න් පසු මුළු රාත්‍රිය පුරාම රුධිරය උරා බොනවා. අපේ පර්යේෂණ කණ්ඩායම 2020දී මෙම විශේෂය සොයාගත්තත්, 2025 වන තුරු අපි මෙය හෙළි නොකළේ වැඩිදුර පර්යේෂණ සඳහායි. තවමත් මෙම මදුරුවා රෝග වාහකයෙකු ලෙස ක්‍රියා කරන බවක් නොපෙනුණත්, අනාගතයේදී එවැනි අවදානමක් ඇති බව අපි පිළිගන්නවා.”
මෙම මදුරුවන් කුරුල්ලන්ගේ රුධිරය උරා බොන නිසා, කුරුල්ලන්ගේ රුධිරයේ ඇති විය හැකි අහිතකර වෛරස් මිනිස් රුධිරය සමඟ මිශ්‍ර වීමේ අවදානමක් ඇති බවත්, එබැවින් මෙම නව මදුරු විශේෂය අනාගතයේදී ශ්‍රී ලංකාවට තර්ජනයක් විය හැකි බවත් පර්යේෂකයෝ පවසනවා.