කුහුඹුවන් දෂ්ඨ කිරීමෙන් පසුව ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් දෙහැවිරිදි දරුවෙකු මියයෑමේ පුවතක් අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
රෝහල් කාර්ය මණ්ඩලයට තම දරුවාගේ ඛේදජනක මරණය වළක්වාගත හැකිව තිබූ බවට චෝදනා කරමින් දැරියගේ මව්පියන් නඩුවක් ගොනුකර ඇතැයි විදෙස් ජනමාධ්‍ය පවසනවා.
මායා ගැටහුන් නමැති දැරිය ඉකුත් වසරේ ඔක්තෝම්බර් 7 වැනි දින නිවසේ ඉදිරිපස මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කුහුඹුවන් දෂ්ට කිරීමෙන් පසු ඇගේ මාපියන් වන බෙතෙල්හෙම් ගෙටු හුන්ඩි සහ ගැටහුන් බිර්හානු විසින් ඇයව ජෝර්ජියාවේ ස්නෙල්විල් හි පිහිටි පීඩ්මොන්ට් ඊස්ට්සයිඩ් වෛද්‍ය මධ්‍යස්ථානයේ හදිසි ප්‍රතිකාර ඒකකයකට ඇතුළත් කර තිබුණා.
බෙල් ලෝ ෆර්ම් හි නීතීඥයන් විසින් ගොනුකරන ලද මෙම නඩුවේ චෝදනාව වූයේ, ඇනෆිලැක්සිස් හෝ දරුණු ආසාත්මිකතා ප්‍රතික්‍රියා සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් භාවිත කරන එපිනෙෆ්‍රීන් ඖෂධය ලබාදීමට රෝහල් කාර්ය මණ්ඩලය විනාඩි 20කට වැඩි කාලයක් බලාසිටි බවයි.
මායාට ජීවිතාරක්ෂක ඖෂධය අවශ්‍ය බව රෝහල් කාර්ය මණ්ඩලය විසින් හඳුනාගෙන ඇතත්, එය ලබාදීමට බලාසිටීම නිසා ඇයගේ තත්ත්වය තවත් නරක අතට හැරුණු බවයි දෙමාපියන් පවසන්නේ.
කාර්ය මණ්ඩලය විසින් සිදුකරන ලද ප්‍රමාදය මත, මායාට ප්‍රතිකාර කරන වෛද්‍ය රිචීසා සලාසාර්ට චෝදනා එල්ල වූයේ, කුඩා දරුවාට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය උපකරණ රෝහලේ නොමැති බව නොදැන සිටීමයි.
”ඔක්සිජන් හිඟකම නිසා දුව ටිකෙන් ටික මියයද්දී මායාගේ දෙමව්පියෝ අසරණව බලාගෙන හිටියා.” යනුවෙන් ඔවුන්ගේ නීතීඥයින් පවසා තිබෙනවා.
මායාගේ වැළැක්විය හැකි වූ මරණයට හේතුව වෘත්තීය නොසැලකිලිමත්කම බව මෙම නඩුව මගින් විත්තිකරුවන්ට චෝදනා එල්ල කර තිබෙනවා.