රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉක්මණින් මියයනු ඇති බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.
ඔහුගේ මරණය රටවල් දෙක අතර පවතින යුද්ධයට තිත තබනු ඇති බවට විශ්වාස කරන බවයි සෙලෙන්ස්කි පවසා ඇත්තේ.
ඔහු මෙම අදහස් පළකර ඇත්තේ, පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දිගින් දිගටම පැතිර යන කටකතා මධ්‍යයේ, පැරිසියේදී යුරෝපීය ජනමාධ්‍යවේදීන් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදීයී.
ලෝකයේම අවධානය යොමුවූ යුද ගැටුමක් අතරතුර ලෝකයේ ප්‍රබල නායකයෙකුගේ සෞඛ්‍යය තත්ත්වය සම්බන්ධයෙන් සෙලෙන්ස්කි කළ ප්‍රකාශය නිර්භීත බව ඇතැම් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එමෙන්ම ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ, යුක්‍රේන යුද්ධයට විසඳුමක් ගෙනඒමේ අරමුණින් අමෙරිකාවේ ද මැදිහත්වීම සමග සවුදියේ රියාද් නගරයේදී සාම සාකච්ඡා පැවැත්වෙන පසුබිමක් තුළයි.
එම සාකච්ඡාවලදී කළු මුහුදේ වෙළඳ සහ බලශක්ති ප්‍රවාහයන් ඉලක්ක කර දෙපාර්ශවට එල්ල කරගන්නා ප්‍රහාර නවත්වා අමෙරිකාවේ මැදිහත්වීමෙන් අර්ධ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට රුසියාව සහ යුක්රේනය එකඟ වී තිබුණා.
“මෙම ගෝලීය හුදකලාවෙන් මිදීමට ඇමරිකාව පුටින්ට උදව් නොකිරීම ඉතා වැදගත්” යැයි ද පැරිසියේ සංචාරයේදී සෙලෙන්ස්කි සඳහන් කර තිබෙනවා.
පුටින් ඔහුගේ මරණය තෙක් බලයේ රැඳී සිටීමට බලාපොරොත්තු වන අතර, ඔහුගේ අභිලාෂයන් යුක්රේනයට පමණක් සීමානොවී බටහිර සමඟ සෘජු ගැටුමකට තුඩුදිය හැකි බවට ද සෙලෙන්ස්කි එහිදී අනතුරු අගවා තිබෙනවා.
පුටින්ට බලපෑම් කිරීමේදී එක්සත්ව සිටින ලෙස සෙලෙන්ස්කි එක්සත් ජනපදයෙන් හා යුරෝපයෙන් ඉල්ලා සිටියා.
රුසියානු නායකයා යුරෝපීය-ඇමරිකානු සන්ධානයට බියවන බවයි සෙලෙන්ස්කි වැඩිදුරටත් පවසා ඇත්තේ.