පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාව වෙත වැදගත් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ උත්සව සමය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වෙළඳ දැන්වීම් සැලකිය යුතු ප්‍රමාණයක් පාරිභෝගිකයන් නොමඟ යවන ස්වභාවයේ ඒවා බවත්, මෙවැනි දැන්වීම්වලට රැවටීමෙන් වැළකී සිටින ලෙසයි.
පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසන්නේ අලෙවිකරණ කොන්දේසි සඟවමින් විශේෂ වට්ටම් ලබාදෙන බවට කෙරෙන ප්‍රචාරක දැන්වීම් මෙම කාලය තුළ සමාජ මාධ්‍ය ජාලා තුළ බහුලව දක්නට ලැබෙන බවයි.
මේ නිසා සමාජ මාධ්‍ය වෙළඳ දැන්වීම් පදනම් කරගෙන භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී අතිශයින් සැලකිලිමත් වන ලෙස පාරිභෝගික අධිකාරිය මහජනතාවට අවධාරණය කරනවා.
එම අධිකාරිය සඳහන් කරන්නේ මෙවැනි සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන පාරිභෝගික නොමඟ යැවීම් පිළිබඳව දැඩි අවධානයක් තමන් විසින් යොමු කර ඇති බවයි.
අසේල බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ පාරිභෝගික සේවා අධිකාරී පනත යටතේ මෙවැනි වරදකට අධිකරණය විසින් දැඩි දඬුවම් නියම කළ හැකි බවයි.
“තනි පුද්ගල ව්‍යාපාරිකයෙකු මෙවැනි වරදක් සිදුකළහොත් රුපියල් 1,000 සිට 10,000 දක්වා දඩ මුදලක්, මාස හයක සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම ලැබිය හැකියි. සමාගමක් නම් රුපියල් 10,000 සිට ලක්ෂයක් දක්වා දඩයකට යටත් වෙනවා” ලෙසයි බණ්ඩාර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
උත්සව සමයේදී පාරිභෝගිකයන් නොමඟ යැවීම ප්‍රධාන ආකාර කිහිපයකින් සිදුවන බව එම අධිකාරිය හඳුනාගෙන තිබෙනවා.
භාණ්ඩවල තොරතුරු වෙනස් කිරීම, කල් ඉකුත් වූ දින වෙනස් කිරීම, ලේබලයේ සඳහන් අන්තර්ගතය ඇසුරුම තුළ නොමැති වීම, ප්‍රදර්ශනය කරන මිලට වඩා භාණ්ඩයේ සැබෑ මිල ඉහළ වීම, සහ අලෙවිකරණ කොන්දේසි ඉතා කුඩා අකුරින් දැක්වීම ආදී මෙම ක්‍රම අතර ප්‍රධාන වනවා.
මෙම තත්ත්වය සමනය කිරීම සඳහා පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් සිදුවන අනීතික ක්‍රියා වැළැක්වීමේ අරමුණින් රාත්‍රී කාලයේද විශේෂ වැටලීම් සිදුකරන බවයි බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
පාරිභෝගික අධිකාරිය මහජනතාවට අවවාද කරන්නේ උත්සව සමයේදී විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අධික වට්ටම් සහ දීමනා පිළිබඳ ප්‍රචාරණ වලට රැවටීමෙන් වැළකී භාණ්ඩ මිලදී ගැනීමේදී ඒවායේ තත්ත්වය, මිල, කල් ඉකුත්වීමේ දිනය ආදී සියලු කරුණු හොඳින් පරීක්ෂා කිරීමටයි.
අධිකාරිය විසින් මෙම නීති උල්ලංඝනය කරන වෙළඳ ආයතන සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට පියවර ගන්නා අතර, පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බවද තවදුරටත් සඳහන් කර තිබෙනවා.