ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහනයක මිල තවත් රුපියල් 40,000 ත් 50,000 ත් අතර මිලකින් ඉහළ යනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පවසනවා.
ඒ ජපානයෙන් ආනයනය කරන ලද වාහන 400 ක් පමණ නිදහස් කර ගැනීමට නොහැකිව අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව තිබීම හේතුවෙන්.
මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියා.
මෙරටට වාහන 197 ක නැවක් මුලින් පැමිණි බවත්, දෙවනුවද වාහන සහිත නැවක් පැමිණි බවත්, ජපානයෙන් ආනයනය කරන ලද එකදු වාහනයක් මෙතෙක් නිදහස් කර ගැනීමට නොහැකිවී ඇති බවත් ඔහු සඳහන් කරනවා.
වාහන ආනයනය ප්‍රකෘති කිරීමේදී ගත් වැරදි තීන්දුවක් මීට බලපා තිබෙන බවයි ඔහු පැවසුවේ.
එසේම නිෂ්පාදිත දිනය මීට බලපා තිබෙන බවද ඔහු සඳහන් කළා.
මෙලෙස වාහන නිදහස් කර ගැනීමට ප්‍රමාද වීම මඟින් සිදුවන්නේ වාහන මිලදී ගැනීමට සිටි පිරිස ඊට අඩු උනන්දුවක් දැක්වීම බවද ඔහු පවසනවා.
එමෙන්ම හම්බන්තොට වරායේ වාහන ගාල් කිරීම සඳහා දින 10 ක නිදහස් කාල සීමාවක් ලබාදී තිබෙන බවත්, දින 10 ට පසුව රුපියල් 30,000 ත් 40,000 ත් අතර අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළා.