ඉතාලියේ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වීසා ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා පවසා තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා (Damiano Francovigh) අතර හමුවක් අද (27) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී මෙම අදහස් පළකළා.
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ නව රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළට ඉතාලි රජයේ සහාය ලබාදෙන බවද ඉතාලි තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍ර සඳහා ඉතාලි රජයෙන් ලබාදිය හැකි සහාය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.
ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සහ ඉතාලියේ රැකියා අපේක්ෂිත ශ්‍රී ලංකිකයින්ට නීත්‍යානුකූල රැකියා අවස්ථා සඳහා පහසුකම් සැලසීමට දැනට සකස් කර ඇති ගිවිසුම්වලට ශ්‍රී ලංකා රජය සහාය දක්වන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පවසා තිබෙනවා.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතාද මෙම අවස්ථාවට එක්වුණා.