Latest News

විවාහ පොරොන්දම් ගළපන්න කලින් මේ ගැනත් සිතන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නිසි කාලය එළඹුණු කල එක වහලක් යටට වී දරු සුරතල් බලමින් ඉදිරි ජීවිත කාලය සතුටින් සහ සුවපත්ව ගත කිරීම බහුතර පෙම්වතුන්ගේ සිහිනය බව රහසක් නොවේ.

එවන් පෙම්වතුන් අතරින් කොටසක් මවුපිය උවමනා මත හෝ තම තමා විශ්වාස කරනු ලබන කරුණු කාරණා මත හඳහන බලා පොරොන්දම්ප ගලපා තම ඉදිරි දිවිය පිළිබඳව තීරණ ගැනීම අප රට තුළ පවත්නවා සංස්කෘතික මෙන්ම ආගමික වටපිටාව අනුව සිදු කරනු ලැබේ.

තවත් කොටසක් එවැනි කාරණා පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකරති. මෙයට අමතරව තවත් කොටසක් තමා අදහනු ලබන ආගම අනුව එවැනි කරුණු කාරණා පිළිබඳ කිසිඳු තැකීමක් නොකරන්නේ එය ඔවුන්ගේ සංස්කෘතිය මෙන්ම ආගමික විශ්වාස සමඟ නොගැලපෙන නිසාය.

මෙසේ හඳහන් නැතහොත් පොරොන්දම් ගැළපීම සිදු කළද නොකළද කුමන ආගමකට අයත් වුවද නොවූවද කුමන ජාතියකට අයත් වූවද නොවූවද ගළපා ගත යුතු තවත් කාරණා බහුතරයක් ඉදිරි ජීවිතයට ඉතාම වැදගත් බව සඳහන් කළ යුතුමය.

ඉන් එක් කරුණක් ඔබ සිතූ ලෙසම නිවැරැදිය. ඒ සිතුම් පැතුම් හා අදහස් ආදිය ගැළපිය යුතු බවය. ඒ සියල්ල සේම නිරෝගී දරු පැටියෙකු ලබාගන්නට නම් ගැළපිය යුතු තවත් වැදගත් කැරණකි. එනම් ජානගත රෝගී තත්තව දෙපස නොතිබිය යුතු බවය.

ඒ කෙසේ ද යනුවෙන් මෙලෙස විස්තර කළ හැක. සමහර ජානගත රෝගී තත්ත්ව ඇතිවීමට මිනිස් සිරුර තුළ එම රෝගී තත්වයට බලපාන රෝගී ජාන යුගලක් තිබිය යුතුය.

මිනිස් සිරුර තුළ නිවැරදි ජානයත් රෝගී ජානයත් දෙකම ඇති විට එම පුද්ගලයා තුළ යම් රෝගයක රෝග ලක්ෂණ පහළ නොවන නමුත් එම පුද්ගලයා එම රෝග වාහකයෙක් ලෙස හඳුන්වනු ලැබේ.

එවැනි රෝගවාහක තත්වය පවතින යුවළක් අතර විවාහයක් සිදුවූ විට ඔවුන්ට උපත ලබන දරු පැටියාට එම රෝගී තත්වය ඇති වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතී.

එකම ජාන සහිත ලේ ඥාතීන් අතර විවාහ නුසුදුසු බවත් ඒ මඟින් විවිධ රෝග සහිත දරුවන් බිහිවීම සිදුවන බවත් පැවසීමේ වෛද්‍ය විද්‍යාත්මක හේතුව මෙය බවද මෙහිදී සඳහන් කළ යුතුය.

මෙසේ තම සහකරුවා හෝ සහකාරිය තුළ එවැනි ජාන ගත රෝගී තත්වයක් තිබේ දැයි ගලපා ගන්නේ කෙසේදැයි ඔබට දැන් පැන නැගී ඇති ගැටලුවකි.

එසේ නොවන්නට පළමු කොටම ළඟම ලේ ඥාතීන් අතර එනම් අවැස්ස නෑනා මස්සිනා අතර විවාහ සිදු නොකළ යුතුය.

ඒ හැරුණු කොට එසේ ගළපා ගන්නට හැකි රෝග අතර ලාංකික අපට ගළපා ගත හැකි රෝගී තත්වයක් ලෙස තැලසීමියා රෝගය හැඳින්විය හැක.

මෙම රෝගී තත්වය ලංකාවේ ප්‍රදේශ කිහිපයකම ඉතා බහුල ලෙස දක්නට ඇත. තැලසීමියා රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකුගේ රතු රුධිරාණුවල ආයු කාලය අඩුවන අතර සිරුරේ නිසි හිමෝග්ලොබින් ප්‍රමාණය පවත්වා ගැනීමට මාසයට වරක් පිටතින් රුධිරය ලබාදීම මුළු ජීවිත කාලය පුරාම සිදු කළ යුතුය.

එසේ රුධිරය ලබා දීමේදී කාලයත් සමඟ සිරුර තුළ යකඩ තැන්පත්වීම නිසා අක්මාව, හෘදය පමණක් නොව බෙහෝ ඉන්ද්‍රියන්ට හානී සිදුවී ආයු කාලය කෙටිවීම වැළැක්විය නොහැකිය. වර්තමානයේ ඒ සඳහා ඇති එකම ස්ථිර ප්‍රතිකාරය ඇට මිදුලුළු බද්ධ කිරීම පමණි.

තැලසීමියා රෝගියෙකු තුළ මෙවැනි රෝග ලක්ෂණ ඇතිවන්නේ ඔහු හෝ ඇය තුළ මා මුලින් පැවසූ පරිදි රෝගී ජාන යුගලක්ම ඇති විටය.

යම් පුද්ලයෙක් තුළ රෝගී ජානයක් සහ නිරෝගී ජානයක් ඇත්නම් අප ඔහු හෝ ඇය තැලසීමියා රෝග වාහකයෙක් ලෙස හඳුන්වනු ලැබේ.

ඔවුහු නිරෝගී පුද්ගලයන් ලෙස සමාජය තුළ ජීවත් වෙති. නමුත් මෙවැනි වාහකයන් දෙදෙනෙකු අතර විවාහයකදී තැලසීමියා රෝගී තත්වය සහිත දරු පැටියෙක් බිහිවීමට බලපාන ප්‍රධානතම හේතුව ලෙස දැක්විය හැක.

එම නිසා අප එම වාහකයන් අතර විවාහ සිදුනොවීමට එම පොරොන්දම ද ගළපා ගැනීම ඉතාම වැදගත්ය.

ලංකාවේදී තමා තැලසීමියා වාහකයෙක් දැයි දැන ගැනීම රුධිර පරීක්ෂාවක් මඟින් ඉතා පහසුවෙන් සිදු කරගත හැක.

ඔබට තැලසීමියා මධ්‍යස්ථානයක් සහිත රජයේ රෝහලකින් (කොළඹ, රාගම, කුරුණෑගල, අනුරාධපුරය, හලාවත, බදුල්ල) හෝ පෞද්ගලික රෝහලකින් මෙය සිදු කර ගත හැක.

එහිදී ඔබ තැලසීමියා වාහකයෙකු නම් ඔබට රෝස පැහැති කාඩ් පතක් ද ඔබ නීරෝගී නම් කොළ පැහැති කාඩ්පතක් ද ලබාදෙනු ඇත.

ඒ අනුව ඔබ ඔබේ සහකරු හෝ සහකාරිය ගළපා ගැනීමේදී කිසිවිටක රෝස පැහැති කාඩ්පත් දෙකක් එකට ගැළපීම සිදු නොකළ යුතුය.

රෝස පැහැය සහ කොළ පැහැය හෝ කොළ පැහැ සමඟ කොළ පැහැය ගළපා ගත යුතුමය.

එවිට ඔබට හඳහනේ සඳහන් නොවූ තවත් පොරොන්දමක් නිවැරැදිවම ගැළපීමේ වාසිය ලෙසින් තැලසීමියා රෝගයෙන් තොර දරු පැටියෙක් සමඟ ඉදිරි ජීවිතය සාර්ථක කරගත හැකිවනු ඇත.

World News

Send your contact Details Today