ජපානයේ සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශය විසින් සිකුරාදා නිකුත් කරන ලද දත්ත අනුව, 2024 ඔක්තෝබර් මස වන විට එරට විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව මිලියන 2.3 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව 12.4%ක වර්ධනයක් පෙන්නුම් කරනවා.
යෙන් මුදලේ අවප්‍රමාණය වීම හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම් තිබියදීත්, විදේශ ශ්‍රමිකයන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ජපානය තවදුරටත් පවත්වාගෙන යමින් සිටිනවා.
2013 වසරේ සිට අඛණ්ඩව වාර්තාගත ඉහළම අගයන් පෙන්නුම් කරමින්, නිපුණතා සහිත ශ්‍රමික වීසා (Specified Skilled Worker) හිමි ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 206,995 දක්වා 49.4%කින් ඉහළ ගොස් තිබෙනවා.
මෙම වීසා වර්ගය යටතේ වැඩිහිටි රැකවරණය සහ ඉදිකිරීම් වැනි ක්ෂේත්‍රවල රැකියා අවස්ථා සඳහා විදේශිකයන්ට අවසර ලබා දෙනවා.
විදේශ ශ්‍රමිකයන් සේවයේ යොදවා ගන්නා ආයතන සංඛ්‍යාව ද 342,087 දක්වා 7.3%කින් ඉහළ ගොස් ඇති අතර මෙයින් 62.4%ක් සේවක සංඛ්‍යාව 30ට අඩු කුඩා ව්‍යාපාර වනවා.
ජාතිකත්වය අනුව බැලීමේදී ඉහළම ජාතිකයින් කන්ඩායම් තුන පහත පරිදියි…
- වියට්නාම ජාතිකයන්: 570,708 (24.8%)
- චීන ජාතිකයන්: 408,805 (17.8%)
- පිලිපීන ජාතිකයන්: 245,565 (10.7%)
ජපානය ලෝක බැංකුවේ දත්ත අනුව මොනාකෝවට පසු ලෝකයේ දෙවන වයස්ගත ජනගහනය සහිත රටයි.
රටේ දැඩි සංක්‍රමණ නීති හේතුවෙන් ශ්‍රම හිඟය තවදුරටත් උග්‍ර වෙමින් පවතී. විදේශ ශ්‍රමිකයන් බොහෝ දෙනෙක් නිෂ්පාදන, ආතිථ්‍ය සහ සිල්ලර වෙළඳ අංශවල සේවය කරනවා.
තාක්ෂණික පුහුණුලාභී (Technical Intern) වැඩසටහන යටතේ සිටින ශ්‍රමිකයන් මුළු විදේශ ශ්‍රම බලකායෙන් 20.4%ක් නියෝජනය කරනවා.
මෙම වැඩසටහන චීනය සහ වියට්නාමය වැනි රටවල පුද්ගලයන්ට විශේෂිත පළපුරුද්ද ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන නමුත්, විවේචකයන් මෙය සංක්‍රමණිකයන් පිළිගැනීමට මැලිකමක් දක්වන සම්ප්‍රදායවාදී රටක “පසුපස දොරටුවක්” ලෙස හඳුන්වනවා.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ඇස්තමේන්තු අනුව, 2040 වන විට රටේ වර්ධන ඉලක්ක සපුරා ගැනීමට විදේශ ශ්‍රමිකයන් මිලියන 6.88ක් අවශ්‍ය වනු ඇති.
මිසුහෝ සිකියුරිටීස් හි ආර්ථික විශ්ලේෂක ෂුන්ගෝ අකිමොතෝ මහතා පවසන පරිදි, “යෙන් මුදලේ දුර්වල තත්ත්වය හේතුවෙන් විදේශ ශ්‍රමිකයන්ට මුදල් ඉපයීමේ ස්ථානයක් ලෙස ජපානයේ ආකර්ෂණීයත්වය අඩු වී ඇතත්, දියුණු රටක වැටුප් මට්ටම් ලබා දීමට හැකි වීම තවමත් ආකර්ෂණීය සාධකයකි.”
2027 දී බලාත්මක වීමට නියමිත නව නීති රෙගුලාසි යටතේ, ශ්‍රමිකයන්ට වඩා පහසුවෙන් රැකියා මාරු කිරීමට හැකි වන අතර, ඉහළ වැටුප් ඉල්ලා සිටීමේ හැකියාව ද වැඩි වනවා.
මෙය කුඩා ව්‍යාපාරවලට අභියෝගයක් විය හැකි නමුත්, විදේශ ශ්‍රමිකයන්ගේ සේවා තත්ත්වයන් වැඩිදියුණු කිරීම දිගුකාලීනව ධනාත්මක ප්‍රතිඵල ගෙන දිය හැකි බව අකිමොතෝ මහතා පෙන්වා දෙනවා.
සිංගප්පූරුව සහ දකුණු කොරියාව වැනි අසල්වැසි රටවල ද ශ්‍රම හිඟය පියවීමට විදේශ ශ්‍රමිකයන් ආකර්ෂණය කර ගැනීමට උත්සාහ දරන බැවින්, කලාපීය වශයෙන් ශ්‍රමිකයන් සඳහා තරගයක් ඇති වී තිබෙනවා.
සිංගප්පූරුවේ විදේශ ශ්‍රමික ජනගහනය පසුගිය වසරේදී 5%කින් වර්ධනය වූ අතර, දකුණු කොරියාව 2023 වසරේදී විදේශ ශ්‍රමිකයන් 165,000ක් පමණ පිළිගැනීමට සැලසුම් කර තිබුණා.
ජපානයේ ක්‍රමිකව වයස්ගත වන ජනගහනය සහ ශ්‍රම හිඟය හේතුවෙන්, විදේශ ශ්‍රමිකයන් මත රඳා පැවැත්ම අනිවාර්ය වී තිබෙනවා.
කෙසේ වෙතත්, ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සාධාරණ වැටුප් ලබා දීම වැනි අභියෝගවලට මුහුණ දීමට සිදු වනු ඇති.
මෙම සාධක මත ජපානයේ අනාගත ආර්ථික වර්ධනය සැලකිය යුතු ලෙස රඳා පවතිනු ඇති.