ශ්‍රී ලාංකිකයින්ගේ උපතේදී ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය අනාවරණය කරනවා.
ඒ අනුව වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් තිබෙන බවයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසුවේ.
ලංකාවේ ආයු අපේක්ෂාව වැඩි වීමට සමාජ ආර්ථික දියුණුව සහ සෞඛ්‍ය සේවාවේ දියුණුව ඉවහල් වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනවා.
එමෙන්ම සෞඛ්‍ය සේවාව වැඩි දියුණුවීම මෙන් ම සෞඛ්‍ය සාක්ෂරතාව ඉහළ යාම ද ආයු අපේක්ෂාව ඉහළ යාමට බලපෑ මූලික කරුණු ලෙසයි විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න සඳහන් කළේ.
කලාපයේ අසල්වැසි රටවල් හා සංසන්දනය කිරීමේදී මෙරට ආයු අපේක්ෂාව ඉහළ අගයක් ගන්නා බව පැහැදිලි වනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ඉන්දියාවේ ආයු අපේක්ෂාව පිරිමි පුද්ගලයින්ගේ අවුරුදු 65ක් වන අතර කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 69ක්.
බංගලාදේශයේ පිරිමි වයස අවුරුදු 73ක් වන අතර කාන්තාවන් ගේ ආයු අපේක්ෂාව අවුරුදු 74ක් වන අතර පකිස්ථානයේ ආයු අපේක්ෂාව පිරිමි අවුරුදු 65ක් සහ ගැහැණු අවුරුදු 66ක් වනවා.
නේපාලයේ පිරිමින්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 68ක් වන අතර ගැහැණු අවුරුදු 71ක් බව එම දත්තවල සඳහන්.
මේ අතර මෙරට සිදුවන දරු උපත් පිළිබඳව මෙන්ම ඒ සම්බන්ධව පවතින ගැටලු ගැන ද ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සභාපතිවරයා මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.
එහිදී මෙරට උපත් සංඛ්‍යාවේ පහළ යාම සහ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති ආකාරය 2019 සහ 2023 දක්වා කාලය තුළ දත්ත සහිතව ඔහු පැහැදිලි කළා.
ශ්‍රී ලංකාවෙන් වසරකට ගර්භණි කාන්තාවන් තුන්ලක්ෂ දහතුන්දහසක් පමණ වාර්තා වන බව මෙන්ම සජීවී දරු උපත් දෙලක්ෂ පනස්දහසක් පමණ සිදුවන බවත් වෛද්‍යවරයා සඳහන් කළා.
කපිල ජයරත්න විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ දරුවන් 30% ක් පමණ ස්ථූලභාවයෙන් පෙළෙන බව සහ තවත් සැලකිය යුතු පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.