Voice of Finland වැඩසටහන හරහා ෆින්ලන්තය පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද උපේන්ද්‍රා සිරිවර්ධන නමැති ශ්‍රී ලාංකික සංගීත ශිල්පිනිය එකරැයින් ජනප්‍රියත්වයක් ලැබුවා.
ඒ, එම වැඩසටහනේ Blind Audition අදියරේදී විනිසුරුවරුන් සිව් දෙනාගේ ම කැමැත්ත ලබා ගනිමින් ඔවුන්ගේ අගැයීමට ලක්වීම හේතුවෙන්.
ඇය එහිදී ගායනා කළේ, ‘හිතක පිපුණු මල්’ නමැති චිත්‍රපටයේ ඇතුළත් වූ වැදි ගී ඇසුරින් නිර්මාණය කරන ලද විමල් ජේ. සාගර ගායනා කළ, ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතවත් කළ ‘මාමිනි මා දෙයියා’ නමැති ගීතයයි.
Voice of Finland නිල ෆේස්බුක් පිටුවෙහි පළ කර ඇති ඇය එහිදී කළ ගායනය ඇතුළත් වීඩියෝව මේ වන විය මිලියන ගණනක් නරඹා තිබෙනවා.
වසර 14ක් පුරා පැවැත්වෙන Voice of Finland වැඩසටහනේ වාර්තාවක් පිහිටුවීමට උපේන්ද්‍රාට පළමු වටයේදී ම හැකිවුණා.
ඒ, ඇය පවසන පරිදි මෙතෙක් Voice of Finland වැඩසටහන් ඉතිහාසයේ ගායනය ආරම්භ වී අඩු ම කාලයක් තුළ විනිසුරුවරයෙකු හැරී කැමැත්ත පළ කර ඇත්තේ, ඇයටයි.
ඇය ගායනය අරඹා තත්පර 5ක් තුළ විනිසුරුවරයෙකු හැරී කැමැත්ත පළ කරන අයුරු වීඩියෝවෙන් දැකගත හැකියි.
“මේක මම විතරක් නෙවේ ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්රය ම ලබපු ජයග්‍රහණයක් කියල යි මට හිතෙන්නේ. මොක ද ඒ රටේ සංගීතඥයෝ ශ්‍රී ලංකාවේ ජන සංගීතය ශෛලිය ගැන දැන ගත්තා ඒ හරහා. ඒ වගේ ම ඔවුන් ඒ සංගීත ශෛලිය ගොඩක් අගය කළා. ඒ ගැන මට ගොඩක් සතුටු යි,” උපේන්ද්‍ර සිරිවර්ධන පැවසුවා.
මොනරාගල ප්‍රදේශයේ උපත ලබා ඇති උපේන්ද්‍රා සිරිවර්ධන, අපොස සාමාන්‍ය පෙළ මොනරාගල රාජකීය ජාතික පාසලෙන් ද, උසස් පෙළ මොනරාගල මහානාම ජාතික පාසලෙන් ද හැදෑරූවා.
ඇයගේ පියා සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යන අතර, මව ගෘහණියක් වනවා.
පියාගේ ද ආභාසය සහිතව ඇය සංගීතය හැදෑරීම ආරම්භ කර ඇත්තේ, 3 හැවිරිදි වියේ සිටයි.
පාසල් අධ්‍යාපනය නිම කර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඇය, 2016 වසරේදී ප්‍රාසංගික කලා විශේෂ උපාධියක් හිමි කර ගත්තා.
ඇය පසුව ගුරු වෘත්තිය තෝරා ගත් අතර, පළමු පත්වීම ලැබුණේ, ඇතිමලේ මධ්‍ය මහා විද්‍යාලයට ය. ඉන්පසු ඇය විවාහ වීමෙන් පසුව, වාද්දුව ප්‍රදේශයේ පදිංචි වූ අතර, මග්ගොන ශාන්ත මරියා විද්‍යාලයේ සංගීත ගුරුවරියක ලෙස සේවය කළා.
ඇය තමන්ගේ ගුරු රැකියාව ද අතහැර ෆින්ලන්තයට ගොස් ඇත්තේ, සැමියාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන්.
Voice of Finland වැඩසටහන සඳහා අයැදුම් කිරීමට ඇයට සිතිවිල්ලක් පහළ වී ඇත්තේ, එහි සිටියදීයී.
“ජාත්‍යන්තර තලයේ ගායිකාවක් විදිහට ගොඩ නැගෙන එක පොඩි කාලේ ඉඳලා තිබුණ ආසාවක්. ඒකට මං පොඩි කාලෙ ඉඳල මහන්සි වුණා. අවුරුදු තුනේදි තමයි සංගීතය ඉගෙන ගන්න පටන් ගත්තේ. මේ තැනට එන්න මං ගොඩක් මහන්සි වුණා. ෆින්ලන්තයට ආවට පස්සෙ මට හිතුණා දැන් වෙන රටකට ඇවිත් ඉන්න එකේ, මම ඒකට අයැදුම් කරන්න ඕනෙ කියලා. මගේ ගමන යන්න පළවෙනි පියවර හරි තියන්න ඕනෙ කියලා මම හිතුවා. ඒ හරහා තමයි, Voice of Finland තරගයට අයැදුම් කළේ,” උපේන්ද්‍රා පැවසුවා.
මේ අතර, ඇය සඳහන් කළේ, තරගයේ ඉදිරි වටවලදී බොහෝවිට ෆින්ලන්ත භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ගායනා කිරීමට සිදුවනු ඇති බවයි.
ඒ වෙනුවෙන් ඇය මේ දිනවල එම’භාෂාව හදාරමින් සිටිනා බවයි වැඩිදුරටත් පැවසුවේ.