වයඹදිග දකුණු අප්‍රිකාවේ ස්ටිල්ෆොන්ටේන් නුවර රන් පතලක මාසයක් පුරා සිරවී සිටින සියයකට අධික පිරිසක් මුදා ගැනීමට රජයේ මැදිහත්වීමෙන් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
දකුණු අප්‍රිකානු රජය මේ පියවර ගෙන ඇත්තේ එම රන් පතලේ සිරවී සිටින පුද්ගලයන් මුදා ගන්නා ලෙස විපතට පත්වූවන්ගේ පවුලේ සාමාජිකයන් සහ ඥාතීන් එක්ව උද්ඝෝෂණයක නිරතවීම හේතුවෙන්.
රන් පතලේ සිරවූවන්ගේ සංඛ්‍යාව 400කට අධික බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ.
අත්හැර දමනු ලැබූ එම රන් පතලේ අනවසරයෙන් කැණීම් කටයුතු සිදු කරන බවට පසුගිය වසර අවසානයේ ලද තොරතුරක් මත පොලීසිය එම පතල වටලා ඇතැයි ද, කැණීම් කටයුතුවල නිරතව සිටින පුද්ගලයන්ට පිටතට පැමිණීමට කළ නියෝග නොතකා ඔවුන් තවදුරටත් පතල ඇතුළත සැඟවී සිටීමට උත්සාහ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.
එහි සිරවී සිටින පුද්ගලයන් පිටතට ගැනීමේ උපායමාර්ගයක් ලෙස ඔවුන්ට ආහාර, ජලය හා ඖෂධ සැපයීම පොලීසිය විසින් තහනම් කරනු ලැබීම හේතුවෙන් පතල්කරුවන්ගේ ජීවිත අවදානමට ලක්වූ බවත්, මේ වනවිට පුද්ගලයන් සියයකට අධික පිරිසක් මියගිය බවට තොරතුරු වාර්තා වන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළා.
රජයේ මැදිහත්වීමෙන් පසු මුදා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට පැමිණ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඊයේ වන විට මළසිරුරු 9ක් ගොඩ ගැනීමට සහ පුද්ගලයන් 12 දෙනකු මුදා ගැනීමට සමත්වී තිබෙනවා.