Latest News

ලොස් ඇන්ජලීස් ලැව් ගින්නෙන් ඔලිම්පික් පදක්කම් 10ම පිළිස්සුණු අමෙරිකාවේ පිහිනුම් ක්‍රීඩකයා (VIDEO)

Published 11 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තයේ ලොස් ඇන්ජලීස් නගරයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් කම්පනයට පත්ව නිවෙස් අතහැර යාමට සිදුවූ දහස් සංඛ්‍යාත පුද්ගලයන් අතර අමෙරිකාවේ පුරාවෘත්ත පිහිනුම් ක්‍රීඩකයෙකු වන ගැරී හෝල් (කණිෂ්ඨ) – Gary Hall Jr – ද සිටිනවා.

නගරයෙන් ඉවත් කිරීමට සිදුවූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 1.4ක් දක්වා ඉහළ නැගුනු ලොස් ඇන්ජලීස් ලැව්ගිනි නිසා සිදුවූ ව්‍යසනමය හානිය ඉතා විශාලයි.

ගින්නෙන් හානියට පත් Pacific Palisades පෙදෙසේ කුලී නිවසක ජීවත් වෙමින් සිටි ගැරී හෝල් (Gary Hall Jr) ට ඔහු සන්තක ඉතාමත් වටිනා දේවල් කිහිපයක්ම අහිමිව තිබෙන අතර පිහිනුම් තටාකයක් හා ඔහුගේ ඔලිම්පික් පදක්කම් දහය ද ඊට ඇතුළත්.සිදුවූ ව්‍යසනය ලෝක විනාශය පිළිබඳ චිත්‍රපටයකට වඩා දරුණු බව හෝල් පවසනවා.

“එය ඔබ මෙතෙක් නැරඹූ සෑම ලෝක විනාශ චිත්‍රපටයකටම වඩා දහස් ගුණයකින් නරක විනාශයක්” ඔහු කියනවා.

“ලොස් ඇන්ජලීස්වල සිදුවුනේ මහත් ව්‍යසනයක්. අපි‌ වටේට ගිනි ඇවිළෙමින් තිබුණා. මම මගේ කාරය ඇතුළට පනිද්දී ගිනි අඟුරු වැස්සක් මගේ ඇඟට කඩා වැටෙමින් තිබුණා.. මගේ බල්ලා, දියවැඩියාවට ප්‍රතිකාර කිරීමට භාවිතා කරන ඉන්සියුලින්, සීයාගේ සිතුවමක් සහ ආගමික කෞතුක වස්තුවක් පමණක්  ගන්න විතරයි මට වෙලාව තිබුණේ. එය හැම මිනිහෙකුටම එය භයානක මොහොතක්.”

ගින්නෙන් බේරීයාමට ගත් උත්සාහයේදී හෝල් ට තමාගේ ඔලිම්පික් පදක්කම් දහය අතහැරීම හැරෙන්නට වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. හෝල් 1996 ඇට්ලන්ටා, 2000 සිඩ්නි හා 2004 ඇතන්ස් යන ඔලිම්පික් ක්‍රීඩා උළෙලන් හි රන් පදක්කම් පහක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන තිබුණා.

“මම ඒ වෙලාවේ මගේ පදක්කම් ගැන හිතුවා. නමුත් ඒවා ගන්න මට වෙලාවක් තිබුනේ නැහැ. පදක්කම් පිච්චුනා ද කියලා දැනගන්න හැමෝටම උවමනායි. ඔව්, සියල්ල පිච්චුනා. ඒක නැතුව මට ජීවත්‌ වෙන්න පුළුවන්. ඒවා නිකම් භාණ්ඩ විතරයි කියලා මම හිත හදා ගන්නවා. ආපහු ජීවිතේ පටන් ගන්න ගොඩක් මහන්සි වෙන්න වේවි. මොනව කරන්න ද?” හෝල් ශෝකයෙන් පවසනවා.

තමාගේ නිවස හා පිහිනුම් තටාකය පමණක් නොව තමාගේ ව්‍යාපාරය ද ගින්නෙන් විනාශ වූ බවත් සෑම දෙයක් ම නැවත අලුතින් පටන් ගත යුතුව තිබෙන බවත් හෝල් ප්‍රකාශ කරනවා.

පැයට සැතපුම් 100ක වේගයෙන් හමා ගිය සුළඟ මධ්‍යයේ පැතිර ගිය ලැව්ගිනි ලොස් ඇන්ජලීස් නගරය වෙළා ගත්තේ එහි ජනතාව නොදැනුවත්වමයි.

කෙසේවෙතත් ලොස් ඇන්ජලීස් ලැව්ගිනිවලින් විනාශ වූ එක්සත් ජනපදයේ හිටපු ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩක ගැරී හෝල් ජූනියර්ට නව පදක්කම් කට්ටලයක් ලැබෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව 1996-2004 දක්වා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඔහු දිනාගත් රන් පදක්කම් පහක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ඔහුට නැවත ලබාදීමට නියමිතයි.

World News