ඇමෙරිකා එක්සත් ජනපදයේ දිගුකාලීන වීසා වැඩසටහනක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් අතර මතගැටුමක් ආරම්භ වී තිබෙනවා.
H-1B වීසා සම්බන්ධයෙන් එම මතගැටුම ඇති වී ඇති අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි සමාගම්වල ඇතැම් රැකියා සඳහා වෙනත් රටවලින් පුහුණු ශ්‍රමිකයන් බඳවා ගැනීමේදී එම වීසා නිකුත් කෙරෙනවා.
විවේචකයින් තර්ක කරන්නේ, මෙම වැඩසටහන හේතුවෙන් ඇමෙරිකානු කම්කරුවන්ට බලපෑමක් වන බවයි.
කෙසේ වෙතත්, වැඩසටහනේ යෝජකයින් පවසන්නේ එමගින් ලොව පුරා සිටින ඉහළ දක්ෂතා සහිත පුද්ගලයින් ආකර්ෂණය කර ගැනීමට ඇමෙරිකාවට උපකාරී වන බවයි.
ඡන්දයෙන් තේරී පත්ව සිටින ජනාධිපතිවරයා මීට පෙර එම වැඩසටහන විවේචනය කළත් දැන් ඊට සහය දෙන බව පවසා තිබෙනවා.
තාක්ෂණික ප්‍රකෝටිපතියෙකු වන ඊලොන් මස්ක් ද එයට සහය පළ කර ඇත්තේ එය ‘ඉහළ ම ඉංජිනේරු කුසලතා සහිත වෘත්තිකයින් 0.1%ක ප්‍රතිශතය එමගින් ආකර්ෂණය කර ගත හැකි බව පවසමින්.
පුහුණු ශ්‍රමිකයින් සඳහා H-1B වීසා 1990 දී හඳුන්වා දෙන ලදී. ඒවා සාමාන්‍යයෙන් වසර තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි ලබා දෙන නමුත් වසර හයක් දක්වා දීර්ඝ කළ හැක.
2004 වසරේ සිට, නිකුත් කරන ලද නව H-1B වීසා සංඛ්‍යාව වසරකට 85,000 දක්වා සීමා කර තිබෙනවා.
ඉන් 20,000ක් ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලවලින් ශාස්ත්‍රපති උපාධි හෝ ඊට වැඩි අධ්‍යාපන සුදුසුකම් ලබන විදේශීය සිසුන් සඳහා වෙන් කර තිබෙනවා.