සේමිණී ඉද්දමල්ගොඩ කියන්නේ අපේ කලා ක්ෂේත්රය තුළ ඉන්න දක්ෂ, චරිතාංග රංගන ශිල්පිනියක්. ඇය තමන්ට ලැබෙන නිර්මාණ අතරේ තමන්ට හොඳයි කියලා හිතෙන නිර්මාණවලට පමණක් සම්බන්ධ වෙමින් සිය රංග කුසලතාව විදහාපාන රංගන ශිල්පිනියක්. මේ කාලයේ නම් ඇය “අමුතු දොස්තර” හි මද්දලේනා. ඒ ගැන වගේම ඇයගේ අලුත් තොරතුරු ගැන කළ කතාබහයි මේ…
“අමුතු දොස්තර” හි මද්දලේනා චරිතය ගැන කිව්වොත්?
මද්දලේනා කියන්නේ මම කරපු චරිතවලින් ගොඩක් වෙනස් චරිතයක්. මම කොහොමත් කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් වූ චරිත. ඒ චරිත අතරිනුත් ගොඩක්ම වෙනස් චරිතයක් මද්දලේනා. ඒ චරිතය මටත් ලොකු අභියෝගයක් වුණා. කලපු ආශ්රිත ගම් පළාතක කටුක ජීවිතයක් ගත කරන ගැහැනු කෙනෙක්ව නිරූපණය කරන්නේ. හොඳින් අධ්‍යයනය කරලා චරිතය භාරාගත්ත නිසා මම හිතනවා මද්දලේනාට මම සාධාරණයක් කරනවා කියලා.
සේමිණී කියන්නේ සේමිණීටම අභියෝග කරන කෙනෙක් ද?
අනිවාර්යෙන්ම. මම කැමැතියි අභියෝගාත්මක චරිත කරන්න අභියෝගාත්මක දේවල්වලට මම කැමතියි. මම කොහොමත් වෙනසක් කරන්න කැමැති කෙනෙක්. ඒක මගේ පෞද්ගලික ජීවිතේට සහ රංගන ජීවිතේටත් පොදුයි.
2025 දී තවත් වෙනස් චරිතයකින් දකින්න ලැබෙයි ද?
ටෙලි නාට්‍ය තුළින් නම් ධනුෂ්ක රේමන්ඩ් අධ්‍යක්ෂණය කළ “ද ලේක්” කියන මිනි සීරියස් එක එන්න තියෙනවා. එ්කෙත් මගේ භූමිකාව වෙනස්ම එකක්. මම හිතන්නේ සුද්දී, බ්‍රිජට් ද සිල්වා, මද්දලේනා සහ “ද ලේක්” හි “රදැල්ලේ අම්මා” මේ හැම චරිතයක්ම මට ලැබුණු එකිනෙකට වෙනස් චරිත.
මද්දලේනා ගොඩනඟන්නේ කෝරලගේ සමන්. ධනුෂ්ක රේමන්ඩ් ඔබව ඉදිරියට ගේන්නේ “රදැල්ලේ අම්මා” ලෙසින්. මේ තරුණ අධ්යක්ෂවරුන් ගැන මොකද හිතෙනේ?
ධනුෂ්ක රේමන්ඩ් කියන්නේ මීට කලින් ටෙලි නාට්‍ය කිහිපයක් අධ්‍යක්ෂණය කළ අයෙක්. නමුත් කෝරලගේ සමන්, “අමුතු දොස්තර” හරහා තමයි අධ්යක්ෂණයට එන්නේ. මට මේ දෙන්නගෙන්ම වෙනසක් දැනුණේ නැහැ. කෝරලගේ සමන් අපි මුලින්ම දැක්කේ හොඳ රංගන ශිල්පියෙක් විදියට. ඔහු දක්ෂතාවලින් පරිපූර්ණ අයෙක්. ධනුෂ්ක රේමන්ඩ් කියන්නෙත් තරුණ අධ්යක්ෂවරයෙක්. ඒ අය හරි අප්ඩේට්. පරණ ක්‍රමවලින් සිනමාව ටෙලි තිරය ජය ගන්න බැහැ. මම හරි කැමැතියි අලුත් අධ්‍යක්ෂවරුත් එක්ක වැඩ කරන්න. ඒ අය එක්ක වැඩ කරන එක අපිටත් අලුත් අත්දැකීමක්.
සිනමාවේ එන්න තියෙන නිර්මාණ මොනවද?
චිත්‍රපට කිහිපයක්ම එන්න තියෙනවා. සමහර ඒවායේ සීමිත දර්ශනවල ඉන්නේ. හැබැයි ඒ චරිත, ඒ නිර්මාණයට යම් බලපෑමක් කරන්න පුළුවන් චරිත. ඉස්සෙල්ලම එන්නේ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ “සූරිය සුළඟ” චිත්‍රපටය. බුද්ධික ජයරත්නගේ සැප්තැම්බර් චිත්‍රපටය සහ රන්ජන් ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ “සුපෙම් සුළඟක්” චිත්‍රපටයත් එන්න තියෙනවා.
ඉදිරියේදී වේදිකාවෙනුත් ඔබව දකින්න ලැබෙයි ද?
තවම නම් එහෙම ඇරයුමක් නැහැ. හොඳ ඇරයුමක් ලැබුණොත් භාර ගන්නවා. හැබැයි ඒ ගම් නියම්ගම් පුරා අරන් යන වේදිකා නාට්‍යයක් නම් පමණයි. එහෙම නැතුව රාජ්‍යය සම්මාන බලාගෙන කරන නිර්මාණවල රඟපාන්න නම් කැමැති නැහැ. මම ආසයි මිනිස්සු අතරට යන චරිතයක් කරන්න.
මෙතෙක් නොලැබුණු, කරන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනව ද?
මේ කාලයේ මට කරන්න උපරිමයෙන් දේවල් ලැබිලා තියෙනවා. තව තව කරන්න ආසයි කියලා කියන්න මම දන්නේ නැහැ. ලැබෙන පිටපත් අනුව එකිනෙකට වෙනස් අලුතින් දෙයක් කරන්න තියෙනවා නම් විතරයි මම භාර ගන්නේ. එහෙම නැතුව ලැබෙන හැම චරිතයක්ම නම් කරන්නේ නැහැ. එතැනදී මම මෙතෙක් නොකරපු චරිතයක් ලැබුණොත් කරයි.
එන්න එන්නම සුන්දර වෙනවා, හැඩ වෙනවා මොකක් ද රහස?
බාහිරෙන් මොන දේ කළත් වැඩක් නැහැ අපේ හිත ඇතුළෙන් අපි මිනිසුන්ට ඊෂියාකම්, කුහකකම් සහ වෛර කරනවා නම්. එතකොට මොන විදියෙන් හරි අපේ බාහිර පෙනුම කැත වෙනවා. මම හිත ඇතුළ පිරිසුදු කර ගන්න උත්සහ කරන කෙනෙක්. ඒ එක්කම අපි වයසට යද්දී බාහිරින් දේවලුත් කරනවා. ඒක රහසක්.හැබැයි කාටම හරි දැන ගන්න ඕනේ නම් මගෙන් පෞද්ගලිකව අහලා දැනගන්න පුළුවන්.
ප්‍රේක්ෂක ආදරේ ගැන කියන්න දෙයක් ඇති…
මම මේ ක්ෂේත්රයට ඇවිත් අවුරුදු විසි තුනක්. එදා ඉඳන් මේ දක්වා කරපු නිර්මාණ ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩුයි. හැබැයි මට ලැබුණු ආදරේ නම් කියලා නිම කරන්න බැහැ. පසුගිය කාලයේ අවුරුදු හතක් විතර ක්ෂේත්රයෙන් ඈත්වෙලා හිටියා. ඒ කාලෙත් මට ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලැබුණා. ඒ නිසා මම හරි වාසනාවන්තයි කියලා හිතෙනවා.