බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු දැන් ටික කාලෙක ඉඳලා ඉන්නෙ අසනීපයෙන්. ඔහුට පිළිකාවක් වැලඳී ඇති බව මේ වසරේ මුල් භාගයේ වෛද්‍යවරුන්ට සොයා ගන්න ලැබුණා. නමුත් මේ පිළිකාව ඇත්තේ කොහේද, එහි මේ වන විට තත්ත්වය කෙසේද යන්න ගැන නම් රජ පවුල කිසිවක් ප්‍රසිද්ධියට පත් කර නැහැ. රජ පවුලේ සාමාජිකයන් ගේ සෞඛ්‍යයට අදාළ සවිස්තරාත්මක තොරතුරු ප්‍රසිද්ධියට පත් නොකිරීම සාමාන්‍ය සම්ප්රදායක්.
කෙසේ නමුත් සමහර මාධ්‍ය වාර්තාවලින් පැවසෙන්නේ මේ වන විට චාල්ස් රජු වඩාත් දුර්වල තත්ත්වයකට පත්ව ඇති බවයි. රජ පවුලට සමීප ආරංචිමාර්ග උපුටා දක්වමින් පසුගිය දිනෙක එක් වෙබ් අඩවියක් මේ ගැන සඳහන් කර තිබුණා. ඔහු ඉතා ඉක්මනින් වෙහෙසට පත්වන බවක් දක්නට ලැබෙන බවත්, මේ ගැන වෛද්‍යවරුන් අවධානයෙන් පසුවන බවත් මෙම වාර්තාවෙහි සඳහන් වුණා. මෙම තත්ත්වය තුළ පෙරට වඩා විවේකයෙන් පසුවන ලෙස වෛද්‍යවරුන් ඔහුට උපදෙස් දී ඇති බවත් පැවසෙනවා. චාල්ස් රජු දැන් සිය නිල කටයුතුවලටත් එතරම් සහභාගි වන්නේ නැහැ. මෙයට ටික දිනකට පෙර ප්‍රංශයේ පැරිස් නුවර පැවති උත්සවයකටත් ඔහු වෙනුවෙන් සහභාගි වී තිබුණේ ඔහුගේ වැඩිමල් පුත් විලියම් කුමරු යි.
මේ අතර රජ පවුල ගැන පසුගිය සතියේ පළ වී තිබූ අලුත් පුවතකින් පැවසුණේ චාල්ස් රජු සහ ඔහුගේ බාල පුතු හැරී කුමරු අතර යම් සමාදානයක් ඇති කිරීමට විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් කුමරිය උත්සාහ ගනිමින් සිටින බවකුයි.
හැරී කුමරු මෙයට ටික කලකට පෙර තම පවුලේ අය සමඟ යම් යම් ගැටුම් ඇති කරගත් බව රහසක් නොවෙයි. හැරීගේ බිරිඳ වන මෙගන් මාර්කල් සම්බන්ධයෙන් ඇති වූ සමහර ප්‍රශ්න නිසා මෙම ගැටුම් ඇති වූ බවයි පැවසුණේ. මෙම තත්ත්වය තුළ හැරී සහ මෙගන් රජ පවුලේ නිල කටයුතුවලින් ද ඉවත් වී අමරිකාවේ පදිංචියට ගියා. මේ වන විට ඔවුන් පදිංචි වී සිටින්නේ අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේයි. හැරී සහ මෙගන් එහි පදිංචියට ආවේ 2020 වසරේ යි.
හැරී මෙයට මාස කිහිපයකට පෙර ඔහුගේ ජීවිත මතක සටහන් ඇතුළත් පොතක් නිකුත් කළා. එහි නම Spare. ඔහු මෙම පොතෙන් ද රජ පවුල විවේචනය කිරීමට පියවර ගෙන තිබුණා. ඔහු සහ පවුලේ සාමාජිකයන් අතර පැවති විරසකය තවත් උග්‍ර කිරීමට එය හේතු වුණා.
කෙසේ හෝ වේවා, චාල්ස් රජුගේ සෞඛ්‍ය තත්ත්වය කෙමෙන් පිරිහෙමින් ඇති පසුබිම තුළ ඔහු සහ හැරී අතර සමාදානයක් ඇති වී ඔවුන් නැවත එකතු වනු දැකීමට කේට් කැමැත්තෙන් සිටින බවයි පැවසෙන්නේ.
මේ සඳහා ඇය යම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සඳහන්.
කේට් කුමරිය ද මේ වන විට සිටින්නේ පිළිකාවකට ගොදුරුවයි.
ඇය ද පසුගිය කාලයේ ඒ සඳහා ප්‍රතිකාර ගනිමින් සිටි අතර මේ වන විට ඇයගේ කිමෝ ප්‍රතිකාර අවසන් කර තිබෙනවා.
ඇය කෙමෙන් නැවතත් සුපුරුදු නිල කටයුතුවලට එක් වෙමින් සිටින ආකාරයත් දැකගත හැකියි.
පිළිකා රෝගයට ගොදුරුවීම නිසා කේට් ජීවිතයේ වටිනාකම ගැන වඩා හොඳින් අවබෝධ කරගෙන සිටින බවයි ඉහත කී මාධ්‍ය වාර්තාව සඳහන් කරන්නේ. ඒ නිසා ජීවත් වන කෙටි කාලය තුළ සිත් අමනාපකම් ආදිය ඇති කර ගැනීමේ ඇති නිරර්ථක බව ඇය තේරුම් ගෙන සිටිනවා විය යුතුයි.
ඇය චාල්ස් රජු සහ හැරී අතර සමාදානයක් ඇති කිරීමට උත්සාහ කරන්නේ මේ නිසා විය හැකි බව ද කලින් කී මාධ්‍ය වාර්තාව පෙන්වා දෙනවා.
චාල්ස් රජුගේ වයස මේ වන විට අවුරුදු 74 ක්. කේට් ඉහත කී ආකාරයේ උත්සාහයක් දරන්නේ සිය මාමණ්ඩියගේ වයස පිළිබඳ කාරණය ද සැලකිල්ලට ගනිමින් විය හැකියි.
පසුගිය කාලයේ චාල්ස් සහ හැරී අතර කිසිදු හමුවක් සිදු වුණේ නැහැ. ඔවුන් දෙදෙනා අවසන් වරට එකිනෙකා මුණ ගැසුණේ පසුගිය පෙබරවාරි මාසයේ යි. සැප්තැම්බර් මාසයේ ද හැරී කිසියම් කටයුත්තක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණියත් එම අවස්ථාවේ පියාත් පුතාත් අතර හමුවක් සිදු වුණේ නැහැ.
චාල්ස් රජුටත් වඩා පසුගිය කාලයේ හැරී කුමරු සමඟ ගැටුම් ඇති කරගෙන තිබුණේ ඔහුගේ සොහොයුරු විලියම් කුමරුයි.
මාධ්‍ය සඳහන් කරන්නේ චාල්ස් සහ හැරී අතර ඉදිරියේ දී යම් සමාදානයක් ඇති වුවත් හැරී සහ විලියම් අතර එවැන්නක් ඇතිවීමට තිබෙන ඉඩ අවම බවයි.