Latest News

පිණි මුවන්ගේ කරත්තේ නැගලා එන ආදරණිය සැන්ටා ගැනයි මේ

Published 13 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නත්තල් සීයා ගැන හරි හරියට රසවත් කතා බොහෝමයක් තිබෙනවා… මේ කියන්න හදන්නේ ඒ ගැනයි….

  1. ආරම්භය

සැන්ටා ක්ලෝස්, නැත්නම් නත්තල් සීයා යනුවෙන් හඳුන්වන චරිතය බිහි වන්නේ, ග්‍රීසියේ මයිරා හි 4 වැනි සියවසේ ජීවත් වුණ ශාන්ත නිකොලොස් බිෂොප්තුමා මුල් කරගෙනයි. ශාන්ත නිකොලොස් බිෂොප්තුමන් ගැන විවිධ කතා පතපොතෙහි දක්නට ලැබෙනවා. ඒ සියලු කතාවල අඩංගු කරුණු සම්පිණ්ඩනය කළ විට හිතන්න පුළුවන් එක් දෙයක් තමයි ශාන්ත නිකොලොස් බිෂොප්තුමන් දුගී දරුවන්ට තෑගි බෝග ආදිය ලබා දීමෙන් මහත් සතුටක් ලැබුවා කියන කාරණය.

ඇතැම් තැනෙක දැක්වෙන අන්දමට, නිකොලොස් නමැති අයකු නත්තල් සමයේදී තම දුප්පත් පවුල්වල දරුවන් අතර තෑගි බෙදා දී තිබෙනවා. ඒ සඳහා ඔහු වැය කර ඇත්තේ තම පෞද්ගලික ධනය බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඔහු මේ කාර්යය සිදුකර ඇත්තේ ඉතා රහසිගතවලු. රාත්‍රී කාලවලදී නිවෙස්වල දුම් කවුළුවෙන් , නිවෙස් තුළට ඇතුළුවී , දරුවන් ළඟ තෑගි තබා යාම ඔහුගේ සිරිත වී තිබුණාලු. පසු කලෙකදී නිකොලොස් ශුද්ධවරයට ඔසොවා තබලා. ඒ අනුව, එතැන් පටන් ඔහු හැඳින්වෙන්නේ ශාන්ත නිකොලොස් නාමයෙන් බවයි ජනප්‍රවාදයේ පැවත එන්නේ.

2. විවිධ නම්

“සැන්ටා ක්ලෝස්” යනුවෙන් බටහිර ජනප්‍රිය චරිතය අප හඳුන්වන්නේ, නත්තල් සීයා යනුවෙන්. විවිධ රටවල ජනයා සැන්ටා ක්ලෝස් හඳුන්වන්නේ, ඔවුන්ගේ සංස්කෘතියට සාපේක්ෂව. ඒ අනුව නත්තල් සීයා විවිධ නම්වලින් හැඳින්වෙනවා. බ්‍රිතාන්‍යයන් “නත්තලේ පියා” ලෙසත්, නෙදර්ලන්ත වැසියන් “සින්ටක්ලාස්” ලෙසත්, ප්‍රංශ ජාතිකයන් “පෙරේ නොයෙල්” ලෙසත්, පෝලන්ත ජාතිකයන් “සාන්ත නිකලස්” ලෙසත්, හඳුන්වන්නේ නත්තල් සීයාම තමයි. ඔස්ට්‍රේලියාව, බහමාස්, බර්මියුඩා, ජැමෙයිකාව, නවසීලන්තය, ට්‍රිනිඩෑඩ් හා ටොබාගෝ රාජ්‍ය යන රටවල වැසියන් නත්තල් සීයා ආමන්ත්‍රණය කරන්නේ “සැන්ටා ක්ලෝස්” යනුවෙන්. ආර්ජන්ටිනාව, පේරු, ඊජිප්තුව යන රටවලදී නත්තල් සීයා හැඳින්වෙන්නේ “පපා නොයෙල්” යන නමින් බවයි දැක්වෙන්නේ.

3. නත්තල් සීයා ජනප්‍රිය වුණ හැටි

කලින් කලට නත්තල් සීයා ගැන විවිධ කතා නිර්මාණය වන්නට වුණා. ඒ වගේම නත්තල් සීයාගේ ස්වරූපය ද නිර්මාණය වුණ හැටි ඉතිහාසය දිහා බැලුවහම පේනවා.

මේ සෑම එකක්ම ගොඩනැඟුණේ ඒ ඒ රටවල පැවැති සංස්කෘතීන්ට සාපේක්ෂව 1902දී පළ වූ ළමා පොතකින් “සැන්ටා ක්ලෝස්” චරිතය පුදුමාකාර ලෙස ජනප්‍රියත්වයට පත් වූ බව පෙනෙන්නට තිබෙනවා. එකී පොතෙහි නම දැක්වෙන්නේ “ද ලයිෆ් ඇන්ඩ් ඇඩ්වෙන්චර්ස් ඔෆ් සැන්ටා ක්ලෝස්” යනුවෙන්…. පොත ලිව්වේ අමෙරිකානු ජාතික ඒ. එල්. ෆ්රෑන්ක් බෝම්….

සැන්ටා ක්ලෝස් ගැන ස්ථිර කතාවක් ජනයා අතරෙහි දක්නට නොලැබුණු යුගයක, බෝම්ට තමන්ගේ කතාව තමන්ට රිසි පරිදි රචනා කිරීමට අවස්ථාව පෑදුණා…. ඒ කතාව පසු කලෙක ලෝක ප්‍රකට වුණා…

4. නත්තල් සීයාගේ ප්‍රතිරූපය

නත්තල් සීයා නමැති චරිතයට අද අප දකින ස්වරූපය ලබා දී තිබෙන්නේ, ජර්මන් – අමෙරිකා සම්භවයක් ඇති ඇමෙරිකා ජාතික චිත්‍ර ශිල්පී තෝමස් නාස්ට්… ඔහු එය සිතුවම් කළේ “හාප්ර්ස් වීක්ලි” නමැති සඟරාවට….

1863 සිට සෑම වසරකදීම තෝමස් නාස්ට් නත්තල් සීයාට නව ස්වරූපයක් නිර්මාණය කළ බව වාර්තාවල දැක්වෙනවා… අප අද දකින ස්වරූපය නත්තල් සීයාට ඔහු ලබා දී තිබෙන්නේ, එක්දහස් අටසිය අසූව දශකයේදී විතර…. විසි වැනි සියවසේ පළමු දශක දෙකක කාලය ගෙවෙන විට, නත්තල් සීයාගේ ස්වරූපය බොහෝ සේ ජනප්‍රියත්වයට පැමිණ තිබෙන්නේ, ලෝක ප්‍රකට බීම සමාගමක් හේතුවෙන්….

ඒ නිසා කාලයෙන් කාලයට නත්තල් සීයා වාණිජකරණයට හසුවුණු බවක් ද පෙනෙන්නට තිබෙනවා…

5. නත්තල් සීයාගේ කෑම බීම

නත්තල් සීයාට රස කැවිලි තැබීම ලෝකයේ ඇතැම් රටවල සම්ප්‍රදායක් ලෙස සිදු කරන දෙයක්…. කුකීස් වර්ගයේ විස්කෝත්තු සහ කිරි, නත්තල් සීයාට වෙන් කර තැබීම අමෙරිකා එක්සත් ජනපදයේත්, කැනඩාවේත් සුලභයි…. ස්වීඩනය, නෝර්වේ වැනි රටවල වැසියන් නත්තල් සීයාට තබන්නේ සහල්වලින් සකසා ගත් තලපයක් වැනි ආහාරයක්ලු…

නත්තල් සීයා සමඟ එන පිනි මුවන් ද බොහෝ වෙහෙසට පත්ව සිටින බව තවත් සමහර රටවල වැසියෝ විශ්වාස කරනවා… රටවල වැසියෝ පිනිමුවන්ට ආහාර පිණිස කැරට් තැබීම මහත් ආශාවෙන් යුතුව සිදු කරන දෙයක්…

6. නත්තල් සීයාගේ ගෙදර

නත්තල් සීයා – ජීවත් වන්නේ ලෝකයේ කොතැනකද යන්න බොහෝ දෙනකුට ගැටලුවක්… පොඩි අය නිතරම අහන දෙයක්…. ඇතැම් කතන්දරවල දැක්වෙන ආකාරයට ඔහු ජීවත් වන්නේ හිමෙන් පිරුණ උත්තර ධ්‍රැවයේ කියලා තමයි කියන්නේ… . එහෙත්, ස්කැන්ඩිනේවියානු රට පුරවැසියන් සිතන්නේ, නත්තල් සීයා තමන්ගේ රටේ ජීවත් වන බවයි….

කැනඩා ජාතිකයන් කාලයක් පුරා කල්පනා කළේ , සැන්ටා ක්ලෝස්ටත්, ඔහුගේ බිරිය – ක්ලෝස් මහත්මියටත් ඔවුන්ගේ කටයුතු වඩාත් පහසුවෙන් කර ගැනීමට හැකියාව තිබිය යුතුය. කියා ය. එනිසා 2008 වසරේදී කැනඩා රජය සැන්ටා ක්ලෝස් ට සහ ඔහුගේ බිරියට එරට පුරවැසිභාවය ප්‍රදානය කර තිබෙනවාලු…

7. වසරේ හැමදාමත් නත්තල් සීයා වැඩ!

නත්තල් සීයා යන චරිතය අපට සමීප වන්නේ සෑම වසරකම දෙසැම්බරයේදී වුණාට… නත්තල් මාසයේදී මහජනයා අතරට එන්න බලාගෙන, වසරේ හැමදාම නත්තල් සීයා වැඩ කරන බව දන්නේ එහෙමත් කෙනෙක් තමයිලු….

ජනප්‍රවාදයේ සඳහන් ආකාරයට නත්තල් සීයා සිය බිරිය – ක්ලෝස් මහත්මිය සමඟ එක්වී වසර පුරාම ළමයින් ලැයිස්තුගත කිරීමේ යෙදී සිටීනවාලු.. ඒ අනුව හොඳ ළමයින් එක් ලැයිස්තුවකටත්, නරක ළමයින් තවත් ලැයිස්තුවකටත් ගොනු කරනවාලු….

හොඳ ළමයින්ට තෑගි වශයෙන් ලැබෙන්නේ සෙල්ලම් බඩු සහ රස කැවිලි යනාදියයි. දඟ කරන නරක ළමයින්ට තෑගි හැටියට ලැබෙන්නේ ගල් අඟුරු කැට සහ කෝටු කැබැලි යනාදියයි. ළමයින්ට ලබා දීමට අවශ්‍ය තෑගි බෝග සැකසීම කරන්නේ, නත්තල් සීයාම තමයිලු… එහෙම තමයි ස්මහර කතන්දරවල තිබෙන්නේ…

සෙල්ලම් බඩු තනා ගැනීම සඳහා ඔහුට උපකාර කරන්නේ, අඩි හතර හමාරක් පමණ උසැති අඟුටු මිට්ටන් පිරිසකික්… ඒ ආකාරයට සකස් කරගත් සෙල්ලම් බඩුත් රැගෙන නත්තල් සීයා ලෝ වටා යන්නේ, පිනි මුවන් බැඳි කරත්තයකිනින්….

මේ කරත්තයට බැඳි පිනි මුවන් සංඛ්‍යාව තැනෙක නවයකි. තවත් තැනෙක එය පිනිමුවන් අට දෙනකු සහිත කරත්තයක් කියලා තමයි සඳහන් වෙන්නේ…

8. නත්තල් සීයාට ලියුම්

කුඩා දරුවන් නත්තල් සීයාට ලිපි ලිවීම සහ ඒ ලිපි යැවීම සාමාන්‍ය දෙයක්… නත්තල් සීයාගේ නමට එන ලිපි ඒකරාශී කර ගැනීමේ වැඩපිළිවෙළක් බොහෝ රටවල ක්‍රියාත්මක වෙනවා… එය ක්‍රියාත්මක කරන්නේ, ඒ ඒ රටෙහි ඇති තැපැල් සේවාවලින් බව තමයි දනගන්නට ලැබෙන්නේ… . නත්තල් සීයා නමට එන ලිපිවලට නැවත පිළිතුරු ලිවීමත් සිදු කෙරේ. පිළිතුරු ලිවීම කරන්නේ ඒ ඒ රටෙහි ක්‍රියාත්මක තැපැල් සේවාවේ නිලධාරියකු හෝ නිලධාරි මණ්ඩලයක හෝ මැදිහත් වීමෙන්ලු…. නත්තල් සීයාට යොමු කෙරෙන ලිපිවලට, ස්වෙච්ඡා කාර්ය මණ්ඩලයක් පිළිතුරු ලබාදෙන අවස්ථා ද සමහර තැනෙක දක්නට ලැබෙනවා…

ලෝක තැපැල් සංගමය කරන ලද අධ්‍යයනයකින් තහවුරුව තිබෙන්නේ, නත්තල් සීයා යැවූ පැරැණිතම පිළිතුරු ලිපියක්, අමෙරිකා එක්සත් ජනපද තැපැල් සේවාව සතුව තවමත් ඇති බවයි. අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් හි පිහිටි ජේම්ස් ෆාර්ලේ තැපැල් කන්තෝරුව ඒ ලිපිය ලියා තිබෙන්නේ 1912 වසරේදී කියලා තමයි වාර්තා වෙන්නේ… .

  1. නත්තල් සීයාගේ වේගය

නත්තල් සීයා එනතුරු ලෝකයේ සෑම රටකම වාගේ දරුවෝ බලා සිටිනවා… . ඔහු එන්නේ නත්තල් දිනට පහන් වන රැයේදියි… එක රැයෙන් ලොව පුරා විවිධ රටවල, විවිධ ස්ථානවල සිටින දරුවන් වෙත ත්‍යාග බෙදා දී හමාර කිරීම, කොහෙත්ම පහසු කටයුත්තක් නෙමෙයි…

සැන්ටා ක්ලෝස් එනතුරු ලෝ පුරා ඇති නිවාස මිලියන 90කට අධික ප්‍රමාණයක ජීවත් වන දරුවන්, සෑම වසරක් පාසාම බලා සිටින බව වාර්තාවල දැක්වෙනවා… මේ අනුව තත්පරයකට සැතැපුම් 186,282.4ක පමණ වේගයකින් සැන්ටා ක්ලොස්ට ගමන් කරන්නට සිදුවනු ඇතිබවයි දැක්වෙන්නේ….

ඒ තරම් වේගයකින් මනුෂ්‍යයකුට ගමන් කළ හැකිද? එය හිතන්නවත් බැරි තරමේ දෙයක්… කොහොම වුණත් පුංචි දරුවන්ගේ අහිංසක ප්‍රාර්ථනා, ලොව ඒ ඒ රටේ සැන්ටා ක්ලෝස්ට අඳින පුද්ගලයන් හරහා කිසියම් තරමක වේගයකින් ඉටු කෙරෙන බව අප පිළිගත යුතු ය.

10. හො හො හො

සැන්ටා ක්ලෝස් නිතරම “හො හො හො” (Ho Ho Ho) යැයි කියා හඬනඟන බැව් සඳහන් වේ. කැනඩාව සැන්ටා ක්ලෝස්ගේ තැපැල් කේතය H0 H0 H0 බව ප්‍රකාශයට පත් කර තිබෙනවා….

World News