Latest News

ලෝකයේ අරුම පුදුම නත්තල් චාරිත්‍ර

Published 15 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නත්තල් කියන්නනේ එක් ආගමකට අයත් නොවෙන ලොව පුරා දහස් ගණන් ජනයා සමරන හරිම අපූරු උත්සවක්.

ජේසුස් වහන්සේගේ උපත සමරන නත්තලේ අපි දකින නත්තල් ගස්, නත්තල් සීයා හා නත්තල් කැරොල් පෙරටු කොටගත් සාම්ප්‍රදායික හැඩ තලයට වඩා ලෝකයේ ඇතැම් රටවල බොහෝ වෙනස් ආකාරයේ අපූරූ නත්තල් චාරිත්‍ර සිදු කරනවා.

පහත දැක්වෙන්නේ එවැනි අපූරු නත්තල් චාරිත්‍ර කිහිපයක්.

  1. ස්වීඩනයේ යෝධ පිදුරු එළුවා

ස්වීඩනයේ නත්තල් සම්ප්‍රදායෙහි ඉතා විශේෂම දේ තමයි නත්තලට හදන යෝධ පිදුරු එළුවා කියන්නේ. මෙය ස්වීඩනයේ ප්‍රධාන නත්තල් සංකේතයක් බවටත් පත් වෙනවා. 1966 වර්ෂයේදී තමයි මේ යෝධ පිදුරු එළුවෙක් සෑදීමේ සම්ප්‍රදාය ආරම්භ වෙන්නේ. පසුකාලීනව මේ සම්ප්‍රදායට ස්වීඩනය තුළ නව ජීවයක් ලැබෙනවා. එකම ස්ථානයක සාදන බර ටොන් 3.6කින්, උස අඩි 42කින් වගේම පළල අඩි 23කින් යුක්ත මේ යෝධ එළුවා නැරඹීමේ අවස්ථාවත් එරට ජනතාවට හිමි වෙලා තිබෙනවා.

  1. පිලිපීනයේ කැරකෙන පහන් කූඩු

විසිතුරු විදුලි පහන්, කැරකෙන යෝධ පහන් කූඩු කියන්නේ ශ්‍රී ලාංකික අපිට නම් සාමාන්‍ය දෙයක්. මොකද වෙසක් උත්සවයේදී මේ දේවල් සුලබ දසුන් නිසා. හැබැයි පිලිපීනයේදී කැරකෙන යෝධ පහන් කූඩු ප්‍රදර්ශනය කරන උත්සවය තමයි නත්තල. බෙත්ලෙහෙමේ තාරකාව සංකේතවත් කරන්න තමයි මේ විදිහට පිලිපීනයේ පහන් දහස් ගණනකින් සමන්විත පහන් කූඩු දල්වන්නේ.

  1. ස්විට්සර්ලන්තයේ අපූරු දින දර්ශනය

අපි හැමෝම කැමැතියිනේ පුදුම කිරීම්වලට. ඉතින් මේ නත්තල් කාලයේදී ස්විට්සර්ලන්තයේ දරුවන්ට ලැබෙන අපූරු දෙයක් තමයි මේ අරුම පුදුම දින දර්ශනය කියන්නේ.

මේ කාලයේදී ස්විට්සර්ලන්තයේ පවුල්වලට ලැබෙන නිවාඩු කාලය ඵලදායිව සතුටින් ගත කරන්න තමයි මේ ක්‍රමය ඔවුන් භාවිත කරන්නේ. එහි තිබෙන විශේෂත්වය තමයි හැම නත්තල් දවසකම ඒ දවසට අදාළ බෑගයක් තුළට එදිනට අදාළ ත්‍යාගයක්, සංග්‍රහයක් හෝ තෑග්ගක් බහා තැබීම. ඉතින් නත්තල් කාලයේ හැම දවසක්ම ඔවුන්ගේ අරුම පුදුම දින දර්ශනයට අනුව ගත වෙන නිසා එයාලගේ උත්සව දවස් ප්‍රීතිමත් දවස් බවට පත්වන එක නම් අරුමයක් නෙවෙයි.

  1. මෙක්සිකෝවේ පරණ කතා අලුත් කරන හැටි

මෙක්සිකානු නත්තල් සමය දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමත් එක්කම පරණ වුණු නත්තල් කතාව නැවත අලුත් කරන්න එයාලා හරිම අමුතු වැඩ කරනවා. නත්තල් සමරන්න හේතුවුණු නත්තල් කතාන්දරය හරිම ලස්සන නාට්‍යයක් ලෙස සකස් කරලා රඟ දැක්වීම තමයි ඔවුන් කරන්නේ. මෙක්සිකෝව පුරා සිටින පල්ලියේ සාමාජිකයන් එකතුවෙලා හරිම ලස්සනට ඉදිරිපත් කරන මේ ලස්සන නාට්‍ය සන්දර්ශනය නත්තලේ පරණ කතා අලුත් කරන ආකාරය නම් හරිම ලස්සනයි.

  1. ඩෙන්මාර්කයේ අමුතු නැටුම්

නත්තලේ විශේෂම සංකේතය තමයි නත්තල් ගහ කියන්නේ. ඒ නිසාම නත්තල සමරන ඕනෑම ගෙදරක නත්තල් ගහක් නම් වරදින්නේ නෑ. ඒ වගේම නත්තල් ගහ පාට පාට විදුලි බුබුළුවලින් සරසලා ලස්සන කරන එක අනිවාර්ය දෙයක්. දන්නවද? ඩෙන්මාර්කයේ මේ නත්තල් ගහ සරසනවා විතරක්ම නෙවෙයි තවත් දෙයක් කරනවා. ඒ තමයි නත්තල් කැරොල් ගීත ගායනා කරන ගමන් නත්තල් ගහ වටේ යන ගමන් නටන එක. නත්තල් කාලයේ මේ ලස්සන අමුතු නැටුම් නම් ඩෙන්මාර්කයට හරිම සුවිශේෂී දෙයක්.

  1. අයර්ලන්තයේ උස ඉටිපන්දම

අයර්ලන්ත ජාතිකයන්ටත් නත්තල් කාලයේදී ඔවුන්ටම සුවිශේෂී වුණු නත්තල් සම්ප්‍රදායක් තියෙනවා. ඔවුන් නත්තල් කාලයේ ආරම්භයත් සමඟ උස, රතු පැහැ ඉටිපන්දමක් දල්වලා නිවෙසේ කවුළුව ඉදිරියෙන් තියන්න අමතක කරන්නේ නෑ. මේ උත්සව කාලයේ තම නිවෙසට පැමිණෙන ආදරණීයන් උණුසුම් ලෙස පිළිගන්නවා කියන එක තමයි මේ විදිහට ඉටිපන්දම් දල්වලා ඔවුන් සංකේතවත් කරන්නේ.

  1. නෝර්වේ රස රස චාරිත්‍ර

නත්තල් කාලය කියන්නෙම අවන්හල්, කඩ සාප්පු ජනයාගෙන් පිරී ඉතිරී යන කාලයක්. දෙසැම්බර් 3 වැනිදා ඉඳන් නෝර්වේ ආරම්භ වෙන නත්තල් සමයත් එක්කම හරිම රසවත් සාම්ප්‍රදායික චාරිත්‍ර ඉටු කරන්න එයාලට අවස්ථාව ලැබෙනවා. ඒ අතරින් ඉඟුරු පාන් ගෙයක් සෑදීමේ චාරිත්‍රය විශේෂ වෙනවා වගේම උණුසුම් බත් පුඩිං (Hot Rice Pudding) අනුභව කිරීමේ චාරිත්‍රය වගේ රස රස චාරිත්‍රත් එයාලට තියෙනවා.

World News