අමෙරිකාවට හෝ අමෙරිකන් හිතවාදී බටහිර රටවලට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන මෙන්, රුසියන් රජය එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ රුසියාව සහ අමෙරිකාව අතර ඇයිහොඳයිකම් දිනෙන් දින පිරිහී යන පසුබිමකයි.
ඒ අනුව රුසියාවත්, අමෙරිකාවත් අතර ඇයිහොඳයිකම් මෙසේ පිරිහී ගොස් ඇත්තේ, 1962 වසරේ කියුබානු මිසයිල අර්බුදයෙන් පසුව බවයි විදෙස් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
ඇයිහොඳයිකම් පළුදුවීමට හේතුව, රුසියන් යුක්රේන යුද්ධය බවයි පැවසෙන්නේ.
මේ වනවිට ඇමෙරිකාවත් රුසියාවත් අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමේ බියක් ද හටගෙන තිබෙනවා.
“අප කැමතියි අපේ රුසියන් වැසියන්ට අනතුරු අඟවීමක් කරන්න. අමෙරිකාවට හෝ අමෙරිකන් හිතවාදී බටහිර රටවලට යෑමෙන් වළකිනවා නම් වඩා හොඳයි. ඒත් ඔබ එසේ යනවා නම් කල්පනාකාරී වෙන්න ඕනෑ. ඔබට අනතුරක් වීමේ අවදානමක් තිබෙනවා” ලෙසයි රුසියන් විදේශ කටයුතු අමත්‍යාංශ ප්‍රකාශිකා මරියා සකරෝවා පැහැදිලි කර ඇත්තේ.
අමෙරිකා ජනාධිපති ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ජෝ බයිඩන් රුසියන් යුක්රේන යුද්ධයේ දී දිගින් දිගටම යුක්රේනයට සහාය පළ කළ අයෙක් වනවා.
බයිඩන් පරිපාලනය යුක්රේනයට ලබා දී ඇති යුධ ආධාර ප්‍රමාණය අමෙරිකන් ඩොලර් බිලියන 62 ක්.
අමෙරිකන් ජනාධිපති ධුරයට පත්වීමට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් ජනාධිපති ධුරයට පත්වූ සැණින් රුසියන්, යුක්රේන යුද්ධය අවසන් කරන බවයි.
රුසියන්, යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් ඉදිරිපත් කරන යෝජනා සලකා බලන බවයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැහැදිලි කර ඇත්තේ.