Latest News

එංගලන්තයේ බිග් බෙන් ඔරලෝසු කුලු‍නට වඩා පැරැණි කොළඹ කොටුවේ ඉපැරණි ඔරලෝසු කුලු‍න ගැන ඔබ නොදත් තොරතුරු මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සියවසකට අධික ඉතිහාසයක අපූරු මතක කැටි කරගත්, කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය අසල වැජඹෙන ඉපැරණි ඔරලෝසු කුලු‍න වැදගත් ඓතිහාසික ස්මාරකයක් වනවා.

ඒ මෙම ඔරලෝසු කුලු‍න එංගලන්තයේ අනන්‍යතාව ලෙස ද සැලකෙන, බිග් බෙන් ඔරලෝසු කුලු‍නට වඩා පැරැණි වීම හේතුවෙන්.

බිග්බෙන් ඔරලෝසු කුලු‍නට වඩා පරණ, ඊට අවුරුදු දෙකක් වැඩිමල් ලංකාවේ පළමු මෙන්ම ලෝකයේ එකම ප‍්‍රදිපාගාර ඔරලෝසු කුලු‍න එසේත් නැතිනම් ඔරලෝසු කණුව වන්නේ ද මෙයයි.

මෙය කොළොම්පුරේ අභිමානය වැඩි කරමින් අතීත රහස් රැසක් හංගාගෙන අදටත් නිවැරදිව වේලාව දක්වනවා.

කොළඹ කොටුවේ සිට, ප්‍රධාන මාර්ග පද්ධති සඳහා සැතපුම් සංඛ්‍යාව ගණනය කර ඇත්තේ ද මෙම ඔරලෝසු කුලු‍න පාමුල සිට වීම ද විශේෂත්වයක්.

කොළඹ සිට යාපනයට දුර, කොළඹ සිට ගාල්ලට දුර සැතපුම්වලින් ගණනය කිරීම සිදු කෙරුණේ මෙතැන සිටයි.

බ්‍රිතාන්‍ය පාලකයන්ගේ මෙම ඔරලෝසු කුලු‍න ඉදිකිරීම, එදා කොළඹ වැසියන්ට විස්මය දනවන්නක් වුණා.

ඊට හේතුව, මීට පෙර මෙවැනි ඔරලෝසු කුලු‍නක් කොළඹ නගර වැසියන් පමණක් නොව, ලාංකිකයන් ද දැක නොතිබීමයි.

එවකට පැවැති බ්‍රිතාන්‍ය රජය විසින්, ලංකාවේ ඉදි කළ පළමු ඔරලෝසු කුලු‍න එසේත් නැතිනම් හෝරා ස්ථම්භය වන්නේ ද මෙයයි.

මෙය සැලැසුම් කරන ලද්දේ එවකට මෙරට ආණ්ඩුකාර ධුරය හෙබවූ හෙන්රි වෝඩ් විසින් වනවා.

මෙම ඔරලෝසු කුලු‍නේ සැලැසුම් ඇඳීම සිදු කළේ හෙන්රි වෝඩ්ගේ බිරිඳ එමලී එලිසබෙත් වෝඩ් වන අතර ඇය දක්ෂ චිත්‍ර ශිල්පිණියක වූවා.

කුලු‍නේ ඔරලෝසුව සඳහා, විශේෂ ඔරලෝසුවක්, 1814 දී එංගලන්තයේ සිට මෙරටට ගෙන්වීම සිදු කර තිබෙනවා.

එම ඔරලෝසුව එංගලන්තයේ ඩෙන්ට් සමාගමේ නිෂ්පාදනයක්.

එදා එහි වටිනාකම පවුම් 1,200 ක් වන අතර පසුකාලයක බිග්බෙන් ඔරලෝසුව නිර්මාණයට කළේ ද මෙම ඩෙන්ට් සමාගමයි.

ඔරලෝසු කුලු‍න ඉදි කිරීම කඩිනමින් සිදු නොවුණු බවයි පැවැසෙන අතර 1857 වසර දක්වා එය දිග්ගැස්සුණ බව ඉපැරැණි වාර්තා වල සඳහන්.

මේ හේතුවෙන් එංගලන්තයෙන් ගෙන්වූ එම ඔරලෝසුව, අවුරුදු 43ක් රාජ්‍ය බඩු ගබඩාවේ සුරක්ෂිතව තැන්පත් කර තිබුණ බවයි පැවසෙන්නේ.

එම කාලය පුරාවට ඔරලෝසුව ඉතා හොඳින් නඩත්තු කර තිබුණා.

මෙම ඔරලෝසුව, කුලු‍නට සවි කරන අවස්ථාව වෙද්දී පවා එය ඉතාමත් හොඳ තත්වයෙන් පැවතුණ බව ද සඳහන්.

ඔරලෝසු කුලු‍න ඉදි කිරීම බාර දුන්නේ රජයේ වැඩ දෙපාර්තුමේන්තුවට වන අතර එම කටයුතු අධීක්ෂණය කළේ වැඩ දෙපාර්තුමේන්තුවේ ප්‍රධානී ජෝන් ෆ්ලේමින් චර්චිල්.

එදා අඩි 96 ක් උස මේ ඔරලෝසු කුලු‍න, එවකට මුළු කොළොම්පුරේ ම තිබූ උස ම ගොඩනැගිල්ලයි.

හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා අතින් ඔරලෝසු කුලු‍න විවෘත කෙරුණේ 1857 මාර්තු 25 දායි.

කොළඹ නගරයට යන එන කාටත් නිවැරදිව වෙලාව දැක්වීම කළේ මෙම ඔරලෝසු කුලු‍නයි.

එහෙයින් මෙම ඔරලෝසු කුලු‍න වසර 167ක් තිස්සේ අගනා මෙහෙයක් ඉටු කළ බව පැහැදිලියි.

ඔරලෝසු කුලු‍න නිර්මාණ කර තිබුණේ වෙලාව පෙන්වීමට පමණක් නොව, ප්‍රදීපාගාරයක් ලෙස ද ක්‍රියා කිරීමටයි.

මෙම ඔරලෝසු කුලු‍න විවෘත කර වසර 10 ක් යන තෙක්, කුලු‍න මුදුනේ වූයේ භුමිතෙල් යොදා දැල්විය හැකි පහනක්.

පහනේ ආලෝකය සැතපුම් 16 ක් පමණ දුරට විහිදී යන ආකාරයට වීදුරු ආවරණයක් වුණා.

මේ විශේෂ වීදුරු ආවරණය නිර්මාණය කර තිබුණේ එංගලන්තයේ චාන්ස් සහෝදරයෝ සමාගමයි.

මුහුදු ගමන්වල යෙදෙන යාත්‍රාවලට මෙන්ම කොළඹ වරායට පැමිණෙන නැව්වලට ද මඟ පෙන්වීම මෙම කුලු‍නේ අරමුණ වී තිබුණා.

ඔරලෝසු කුලු‍න ප්‍රදීපාගාර ඔරලෝසු කුලු‍න බවට පත් වූයේ ඒ ආකාරයටයි.

1907 වසරේ දී, එනම්, කුලු‍නට ඔරලෝසුව සවි කර වසර 50 ක් ගත වෙද්දී, එහි දෝෂ පෙන්නුම් කර තිබෙනවා.

ඔරලෝසුවේ කාලය අවසන් බව පෙනී ගිය අතර අනුව, එංගලන්තයෙන් නව ඔරලෝසුවක් ගෙන්වීමට කටයුතු යෙදුණා.

නමුත් එහිදී ගැටලු‍වක් මතු වුණා.

ඒ මෙම නව ඔරලෝසුව, පැරණි ඔරලෝසුවට වඩා තරමක් විශාල එකක් වීමයි.

මේ නිසා කුලු‍නේ ඉහළ ඔරලෝසුව සවි කෙරෙන කොටස කඩා විශාල කිරීමට සිදුව තිබෙනවා.

ඒ අනුව, කුලු‍නේ ප්‍රතිසංස්කරණ ඇරැඹිණි. ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් කර, ඔරලෝසු කුලු‍න යළි වවෘත කෙරුණේ පළමු ලෝක යුද්ධය ආරම්භ වීමට මාස කිපයකට පෙර, 1914 වසරේ අප්‍රේල් 4 වැනිදායි.

පළමු ලෝක යුද්ධය ආරම්භ වූයේ එම වසරේ ජූලි මාසයේයි.

යළි විවෘත කෙරුණු ඔරලෝසු කුලු‍න සැබැවින්ම අලංකාර එකක් වුණා.

ඔරලෝසුවේ මුහුණතට අඩි හයක් දිගැති දිළිසෙන පලිඟු‍ විදුරුවක් සවි කර තිබෙනවා.

පැය කාලෙන් කාලටත්, පැයෙන් පැයටත් එය නාද වීම විශේෂත්වයක්.

පැයෙන් පැයට නාද වීමට කිලෝ 250ක් බර ප‍්‍රධාන සීනුවක් හා පැය කාලෙන් කාලට නාද වීමට කිලෝ 152ක් බර කුඩා සීනු දෙකක්ද එහි සවිකර කෙරුණා.

1907 වසර වෙද්දී, ගෑස් භාවිතය ආරම්භ වී තිබුණු බැවින්, භූමිතෙල් යෙදූ පහන වෙනුවට, ගෑස් පහනක් භාවිත කෙරුණා.

1933 වසර වන විට විදුලි බලයෙන් මේ ප‍්‍රදිපාගාර පහන ආලෝකවත් වූ අතර ඉටිපන්දම් 1,500 ක විදුලි එළියක් එයින් නිකුත් වුණු බව ද පැවැසෙනවා.

1952 අවුරුද්දේ ජුලි මාසේ සිට ඔරලෝසු කුලු‍නේ ප්‍රදීපාගාර ක්‍රියාකාරීත්වය නවතා දැමීමට සිදුවුණා.

ඊට එක් හේතුවක් වූයේ 1932 වසරේ දී කොළඹ වරායට වෙනම ප්‍රදීපාගාරයක් ඉදි කර තිබීමයි.

ඒ අනුව, ඔරලෝසු කුලු‍න තවදුරටත් ප්‍රදීපාගාරයක් ලෙස ක්‍රියාත්මක වීම අවශ්‍ය වුණේ නැහැ.

එමෙන්ම පසුකාලෙක ගොඩනැඟු‍ණු අවට ගොඩනැගිලි වලින් මේ ඔරලෝසු කුලු‍න ආවරණය වීම අනෙක් හේතුවයි.

PHOTO CREDITS: Green Holiday Travel Website

World News

Send your contact Details Today