මෙරට 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබෙනවා.
ඒ 2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව ඔහු හෙට (23) උදෑසන වැඩ භාරගැනීමට නියමිතයි.
අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් මස 24 වනදා උපත ලබන්නේ, මාතලේ දේවහූව ග්රාමයේදීයි.
ඒ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවළට දාවයි.
දිසානායක පවුලේ දෙවැනියා වූ අනුර මූලික අධ්‍යාපනය සඳහා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් වනවා.
සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වන මෙම සිසුවා උසස් පෙළ හැදැරීම සඳහා ඇතුළත්වන්නේ, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයටයි.
එහිදී විද්‍යා – ගණිත අංශයෙන් උසස් පෙළ සමත්වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයට තේරී පත්වන්නේ, 1992 දීයී.
1987දී පාසල් ශිෂ්‍යයෙකු ලෙස ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු වූ අනුර සරසවි භූමිය තුළ ද කැපීපෙනෙන දේශපාලන චරිතයක් බවට පත්වනවා.
එහිදී ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමාජවාදී ශිෂ්‍ය සංගමය නැවත ගොඩනගන අනුර සරසවි සිසුන් අතර ආකර්ෂණය දිනාගත්තේ ”අරවින්ද” යන නාමයෙන්.
එපමණක් නොව ඔහු කැලණිය විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමයේ සභාපති ධුරය ද හොබවනු ලබනවා.
අනුර කුමාර දිසානායක සිය උසස් අධ්‍යාපනය නිමකරමින් 1995 දී විශ්වවිද්‍යාලයෙන් පිටවන්නේ, විද්‍යාවේදී උපාධිධාරියෙකු වශයෙන්.
අනුරගේ දේශපාලන ගමන් මඟ තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින් 1997 දී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වනවා.
ඉන් වසරකට පසු එනම් 1998 දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඇතුලත් වීමට අනුර කුමාරට වරම් හිමිවනවා..
ඔහු පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 2000 වසරේදීයී.
ඒ එම වසරේ පැවැති මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන්.
ඔහු යළි 2004 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ද ලබා ගනිමින්.
2004 වසරේදී පිහිටුවන ලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය ධුරයේ කටයුතු කළ අනුර කුමාර දිසානායක එදා මෙදා තුර ලාංකේය දේශපාලන ඉතිහාසයේ අත්නොවිඳි විසල් ආදර්ශයක් රටට ලබාදීමට කටයුතු කළා.
අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ගමන් මගේ ඉතා තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කළේ 2014 වසරේ පෙබරවාරි මස 2වනදා පවත්වන ලද ජනතා විමුක්ති පෙරමුණේ 7වන ජාතික සම්මේලනයේදීය.
එදින ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සෝමවංශ අමරසිංහගෙන්, අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරුණා.
2015 වසරේ සිට 2018 වසරේ දෙසැම්බර් මස 14 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළේ ද අනුර කුමාර දිසානායක මහතායි.
2019 වසරේ අගෝස්තුවේදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් ගණනාවක් එක්කර ගනිමින් ජාතික ජන බලවේගය නම් නව දේශපාලන ව්‍යාපාරයකට මුලපුරනු ලැබුවා.
ඉන් පසු 2019 ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක ඡන්ද 418,553ක් ලබාගන්නේ සියයට 3.16%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින්.
2021 වසරේ දෙසැම්බර් 20 වනදා පවත්වන ලද ජාතික ජන බලවේගයේ පළමු ජාතික සමුළුවේදී ජාතික ජන බලවේගයේ නායකත්වයට අනුර පත්වනවා.
එතැන් සිට මෙරට සෑම දිස්ත්‍රික්කයකම පාහේ බිම් මට්ටමට ගොස් එහි සංවිධාන කටයුතු විධිමත්ව සිදුකර ජනතාව දැනුවත් කරමින් 2024 ජනාධිපතිවරණයට යළිත් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් වනවා.
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ලෙසින් අනුර රට හමුවේ තැබූ ප්‍රතිපත්ති ප්‍රකාශයට ජනතාවගේ එකඟතාවය හිමිවීමෙන් පසු එය යථාර්තයක් බවට පත්කිරීමේ අවස්ථාව දැන් හිමිවී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ 9වන ජනාධිපතිවරයා වෙමින් ඉදිරි පස් වසර සඳහා මව්දෙරණේ අනාගතය භාරගන්නා අනුර කුමාර දිසානායක මහතාට Radio WESL අපේ උණුසුම් සුබ පැතුම්.
ඒ අනුව ප්‍රධාන අපේක්ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යා පහත පරිදි වනවා.