Latest News

“ජීවිතේ හොඳ ආරම්භයක් ඇති කරගන්න ඕනේ කියල හිතේ තිබුණා” – නුවන් ගුණසේකර

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාලයක් පුංචි තිරයෙන් නිතර දකින්න ලැබුණු නුවන් ගුණසේකර දිගු නිහැඬියාවකට පස්සේ ආයෙමත් ඇවිත්. ඒ මදර් ලංකා සිනමා නිර්මාණයේ මංජු ලෙසින්. WESL මේ කතාබහ නුවන් ගුණසේකර සමඟ

මදර් ලංකා හි මංජු තුළින් කාලෙකට පස්සේ දකින්න ලැබෙන්නේ?

ඔව්. සෑහෙන කාලෙකින්. අවුරුදුවලින් බැලුවොත් අවුරුදු 6කින් හෝ 7කින් රඟපෑ නිර්මාණය. කාලයක් නුවරට වෙලා හිටියා. මගේ ක්ලාස් සහ මගේම ව්‍යාපාර කටයුතු එක්ක. කොහොමත් මගේ අදහස තිබ්බෙම චිත්‍රපටවලට නැඹුරු වෙන්න. ඒ නිසා ලැබුණු පළමු ආරාධනය වුණේ මදර් ලංකා චිත්‍රපටය. පිටපත කියවද්දී හොඳ වැඩක් කියලා දැනුණා. මගේ ඇඟේ තියෙන ස්කිල් ටික පෙන්නුම් කරන්නත් හැකි චරිතයක් නිසා, මදර් ලංකා හි මංජු වෙන්න අනුෂ සංජීව අයියා කරපු ආරාධනාව ඉතාම සතුටින් භාර ගත්තා.

බැඩ්මින්ටන් ක්‍රීඩාවත් හදාරලා තිබ්බ ද?

බැඩ්මින්ටන් ක්‍රීඩාවක් විදියට නම් මින් පෙර හදාරලා තිබ්බේ නැහැ. විවේකි වෙලාවට බැඩ්මින්ටන් සෙල්ලම් කරලා තියෙනවා. නමුත් මේ චරිතය තුළ දී මම බැඩ්මින්ටන් කෝච් කෙනෙක්ගේ භූමිකාව කරන නිසා, නුවර බැඩ්මිටන් කෝච් කෙනෙක් වන ‘මිස්ටර් ඩීන්‘ යටතේ පුහුණු වීමක් ලබලයි චරිතෙට ප්‍රවේශ වුණේ.

මමත් කාලෙකින් චරිතයකින් එන වැඩේ සහ සිනමාවේ මගේ මුල්ම අත්දැකීම නිසා මෙතන මගේ රංගන ජීවිතේට නැවත හොඳ ආරම්භයක් ඇති කර ගන්න ඕනේ කියන ටාර්ගට් එක හිතේ තිබුණා. ඒ නිසා මට තියෙන කොටසට උපරිම සාධාරණයක් කරන්නයි මම උත්සහ කළේ.

මේ වෙද්දී චිත්‍රපටය තිරගත වන නිසා ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. මගේ කලින් නිර්මාණ නැවත මතු කරමින් සමාජ මාධ්‍ය තුළ දී මෙයාව හඳුනාගත්ත ද කියන පෝස්ට් සහ වීඩියෝ දාලා තියෙනවා. ඒ එක්කම බොහෝ දෙනෙක් දැන් මාව හොයනවා. ඇයි නිර්මාණොවලින් දකින්න නැත්තේ කියන එක අහනවා. ඒක තමයි මට ඕනේ වුණෙත්. නිහඬතාව බිඳලා එන වැඩෙන් හොඳ කතා බහක් ඇති කරගන්න එක සහ එතැනින් එහාට ආයෙමත් හොඳ අඩිතාලමක් ඇති කරගන්න එක. ඒකට හොඳ අවස්ථාවක් මට මදර් ලංකා චිත්‍රපටය එක්ක ලැබිලා තියෙනවා. ආයෙමත් මා ගැන හොයන්න කතාවෙන්න පටන් අරන් තියෙනවා. ඒක මගේ පැත්තෙන් මේ වෙලාවේ ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි.

අවුරුදු 6ක 7ක කාලයක් නිහඬව හිටියේ ක්ෂේත්‍රය තුළ ඇති වූ කලකිරීමක් නිසා ද, නැත්නම් පෞද්ගලික ජිවිතේ ඇති වුණු කාර්යබහුලකම නිසාමද?

ඔය කියන කරුණු දෙකම හේතු වුණා. කලකිරීමකට වැඩිය මට හිතුණේ මම වැරදි තැනක තමයි පාවිච්චි වෙන්නේ කියලා. ඒ නිසා මට ඕනේ වුණා නිහඬතාවක් අරගෙන ආයෙම ගමනක් පටන් ගන්න. ඒ එක්කම මගේම කියලා දෙයක් පටන් ගෙන ඒ තුළ ස්ථාවර වෙන්නත් ඕනේ වුණා. අදටත් කලාව පමණක් වෘත්තිය කරගෙන ජිවත් වෙන්න පුළුවන් මට්ටමක ලංකාවේ කලා ක්ෂේත්‍රය හැදිලා නැහැ. ඒ නිසා මම ඒ දේ අත්දැකීමෙන් දැක්කා. ඒ නිසා ජීවිතේට හොඳ ස්ථාවරයක් හදා ගන්න ඕනේ වුණා. දැන් මම ස්ථාවර ආර්ථික මට්ටමක ඉන්න නිසා මට හිතුණා දැන් නිදහසේ කලාව කරන්න මනස යොමු කරන්න පුළුවන් කියලා.

ඉදිරියේදී මොන වගේ චරිතවලටද විශේෂත්වයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ?

මම පොඩි කාලේ ඉඳන් ආසයි මාර්ෂල් ආර්ට්වලට. මම කික් බොක්සිං පටන් ගත්තේ අවුරුදු 10 වගේ කාලයක ඉඳන්. මම ඉස්සර ඉඳන් ආස කළේ බෘෘස්ලි, ජැකී චෑන් වගේ අයගේ චිත්‍රපට බලන්න. ඇක්ෂන් හීරෝ ආසාව තමයි පොඩි කාලේ ඉඳන් තිබ්බේ. අදටත් මම ක්‍රීඩාව අතහැරලා නැහැ. ක්‍රීඩාව කියන්නේ මට අලුත් තැනක් නෙමෙයි. මම සැබෑ ජීවිතයේදී කික් බොක්සිං, මාෂල් ආර්ට් කළා. එතැනදී මම පුහුණුකරුවෙක් විදිහට කටයුතු කළා. ක්‍රීඩකයෙක් විදියට මම ඉන්න කාලෙත් මට ඕනේ වුණේ ඇක්ෂන් පැත්තෙන් කලාවට සම්බන්ධ වෙන්න. ඒ ආසාවට කලාවට ආව ගමනක් තමයි මේ විදියට ගත වෙන්නේ. හැබැයි තාම මගේ හීනෙට යන්න චාන්ස් එකක් ලැබුණේ නැහැ. විශේෂයෙන්ම ඩාන්සින් පැත්තෙන් හෝ මාර්ෂල් ආර්ට් පැත්තෙන් දැනෙන දෙයක් කරන්න ආසාවෙන් ඉන්නවා. සිනමාව කියන්නෙම ලොකු භාෂාවක්. ඒ තුළ කතා කරන්න පුළුවන් වපසරි තියෙනවා. මෑත කාලය වෙද්දී සිනමාවේ ලොකු පිබිදීමක් ඇති වෙලා තියෙන වෙලාවක මගේ ටැලන්ට් එක පෙන්වන්න පුළුවන් චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නවා.

වසර ගණනාවකට පසුව ආවත් කලින්ටත් වඩා කඩවසම් වෙලා, මොකක්ද රහස?

මමත් දැක්කා, ඉස්කෝලේ යන කාලේ ආසාවෙන් බලපු නළුවෙක්. දැන් අපි වයසට ගිහින් ඔයා නම් ඉස්සරටත් වඩා කඩවසම් කියලා එන කමෙන්ට්ස් තියෙනවා. ඒකට මම හිතන්නේ පළවෙනිම දේ තමයි ව්‍යායාම කියන එක. මම ට්‍රිප් එකක් ගියත් උදේට වටයක් දුවලා හරි එනවා. ව්‍යායාම කියන දේ මගේ අතින් නැති වුණේ නැහැ. ඩාන්සින් ක්ලාස් එකෙත් පැයකට ආසන්න කාලයක් යන්නේ ව්‍යායාම. යෝගාවලට තමයි දැන් වැඩි නැඹුරුවක් ඇති වෙලා තියෙන්නේ. ඒ දේවල් ජීවිතේට අත්‍යවශ්‍ය නිසා. මම කවදාවත් කවුන්ට් කරලා මම පැත්තකට වෙලා ඉන්නේ නැහැ. මමත් ළමයි එක්කම ඒ ව්‍යායාම ටික කරනවා. එදාට වඩා අද කඩවසම් විදියට මාව දකින්නේ ඒ නිසා.

අවසාන වශයෙන් මේ මදර් ලංකා තිරගත වන කාලය නිසා, ප්‍රේක්ෂකයින්ට කියන්න දෙයක් ඇති?

මේ වෙලාවේ මම මදර් ලංකා කණ්ඩායමටම ස්තුතිවන්ත වෙනවා මාවත් මේ නිර්මාණයට සම්බන්ධ කර ගත්තට. පිටපත ලැබිලා කියවද්දී මුලින්ම මට දැනුණේ වෙනස්ම ආරෙට යන වෙනස් විදියේ ලස්සන වැඩක් විදියට. මටත් මදර් ලංකා පළමුවෙන් රිදී තිරයේ දකිද්දී මටම හිතාගන්න බැරි වුණා. ප්‍රේක්ෂකයින්ට මම කියන්නේ මේකේ බලන්න දේවල් ගොඩක් තියෙනවා. බලලා ගෙදර යද්දී අරන් යන්න දේවල් ගොඩක් තියෙන නිර්මාණයක්. අපි ඉන්න කාර්යබහුල ජීවිතෙන් මඳකට මිදිලා මනසට දිය හැකි ආහාරයක් විදියට මම දකින්නේ මදර් ලංකා. තමන් ගැන, අම්මා තාත්තා ගැන හිතන්න පොලඹවන තැනක මේ චිත්‍රපටය තියෙනවා. මේක තවත් එක ෆැන්ටසි කතාවක් නෙවෙයි. ගෙවන මුදලට සාධාරණයක් වෙන අතරේ ජීවිතේට යමක් ගත හැකි නිර්මාණයක්.

World News

Send your contact Details Today