රොකී, සින්ටෝ, ඉර හැංගිලා ටෙලි නිර්මාණ ඔස්සේ මේ දිනවල ප්‍රේක්ෂක ඔබ හමුවට එන ඇයගේ රංගන හැකියාව ගැන අමුතුවෙන් කිව යුතු ද නොවේ. මේ වන විට ඇය මවගේ භූමිකාව තුළින් සුලබව දුටුවත් වේදිකාව, පුංචි තිරය, රිදී තිරය වැනි මේ ඕනෑම ඉසව්වක රංගන කුසලතාවයෙන් මනාව ඔපමට්ටම් වූ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියකැයි කීම වඩාත් උචිතය. රංගනය පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති අත්දැකීම් බහුල ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ඇය වසන්ති රන්වලය. අද අපේ කතාබහ ඇය සමඟිනි.
දැන් දැන් ඔබ අම්මාගේ භූමිකාවෙන් දකිනවා වැඩියි. ඒකටම කොටුවෙලා කියල හිතෙන්නෙ නැද්ද?
ඒක ඉතින් වයසත් එක්ක ලැබෙන භූමිකාවනේ. රොකී ටෙලි නිර්මාණය ගත්තොත් ඒකේ ලොකු පුතාලා තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. දරුවන්ට ආදරය කරන, දරුවන් නිසාම දුක් විඳින අද සමාජයේ දකින්න ලැබෙන අම්මා කෙනෙක් කිවුවත් හරි. නමුත් සින්ටෝ ටෙලි නිර්මාණයේ අම්මා සම්පූර්ණයෙන්ම ඊට වෙනස්. ඒ නිසා එකම චරිතයේ වුණත් විවිධත්වයක් තියෙනවා කියලයි මට හිතෙන්නේ.
සින්ටෝ කියන්නේ ටිකක් වෙනස් ටෙලි නිර්මාණයක්. ඒ අත්දැකීම ගැන කතා කළොත්?
සින්ටෝ එකේ මම එක පුතෙක්ගේ අම්මා කෙනෙක්. රොකී නාට්‍යයේ අම්මට වඩා ප්‍රතිවිරුද්ධ අම්මා කෙනෙක්. ඇය ගැටලු විසඳගන්න හදන විදිහ, සමාජය එක්ක ගැටෙන විදිහ සම්පූර්ණ වෙනස්. නිතර ගැටුම් ඇතිකරගන්න, දඩබ්බර තීරණ ගන්න අම්මා කෙනෙක්. නමුත් ඇය පුතාට හරිම ආදරෙයි. සින්ටෝ වෙනස්ම අත්දැකීමක් කියන්නේ ඒකයි. සාමාන්‍යයෙන් අපි දකින්නේ ප්‍රශ්නයක මතුපිටින් පේන දේ විතරයි. මෙතැනදි ඇතුළතින් ඇය අසරණයි. නමුත් ඒක කාටවත් පේන්නෙ නැහැ. දරුවත් එක්ක ඇයට ඉන්න තැනක් නැහැ. ඒ නිසා තමයි ඇය ඒ වගේ හැසිරෙන්නේ. ඕනෑම මනුස්සයෙකුට නරක විදිහට හැසිරෙන්න මොකක් හරි හේතුවක් තියෙනවා. නමුත් සමාජය මතුපිටින් දකින දේට ප්‍රතිචාර දක්වනවා මිසක් ඇයි එහෙම වෙන්නේ කියන හේතුව හොයන්නෙ නෑ. මේ අම්මා එහෙම හැසිරෙන්නේ ඇගේ අසරණකම නිසා. මම ඒ චරිතය දැක්කෙ ඒ විදිහට. එහෙම නැතුව ඇය කළු චරිතයක් නොවෙයි. ඇයට කළු වෙන්න යම් යම් හේතු තිබුණා.
පහුගිය කාලේ Maleficent කියලා ඉංග්‍රීසි චිත්‍රපටයක් ආවා Angelina Jolie රඟපාන. මෙතනදි මට මතක් වෙන්නෙ ඒක. අපි හැමෝම අහල තියෙන නිදි කුමරියගේ කතාවෙම වෙන වර්ෂන් එකක්. ඒ කතාවේ අපි හැමෝම බණින්නේ, වැරදියි කියලා චෝදනා කරන්නේ මන්තරකාරිටනේ. නමුත් මේ චිත්‍රපටයේ තියෙන්නේ මන්තරකාරිට එහෙම කරන්න සිද්ද වුණේ ඇයි කියන එක. ඇත්තටම මෙහි නිර්මාණකරුවා දැකල තිබුණේ ඒකෙ අපි කවුරුත් නොදකින පැත්තක්. ඔහු උත්සාහ කරල තිබුණේ මන්තරකාරි ඒ කුමරියව හිර කරගෙන තියාගත්තෙ ඇයි කියන එකට හේතු හොයන්න. ඇය ඒ වගේ නපුරු වෙන්න හේතුව නිදි කුමරියගේ පියාගෙන් පෙර දවසක ඇයට සිදුවුණු අසාධාරණයක්. අපි යම්කිසි දේකට කාටහරි ඇඟිල්ල දික්කරනවා නම් ඒ කෙනාට එහෙම වෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕන. සමහර විට ඒ හේතු හරිම සාධාරණ මානුෂික ඒවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් තමයි මං මේ සින්ටෝ චරිතය හරහා දකින්නේ.
ඉර හැංගිලා කියන්නෙත් මේ දිනවල ඔබ රංගනයෙන් දායක වන අලුත්ම ටෙලි නිර්මාණය. ඒ ගැන කතා කළොත්?
ඉර හැංගිලා මීට ටික කාලෙකට කලින් රූගත කළ ටෙලි නිර්මාණයක්. මේ දිනවල ජාතික රූපවාහිනියේ සතියේ දිනවල විකාශය වෙනවා. චාරුක දිල්හාර අරනායකගේ අධ්‍යක්ෂණයක්. සුනෙත් වර්ණසූරියගේ තිර රචනයක් මායිම් ගමක ජනතාව මුහුණ දෙන සිදුවීම් මාලාවක් පාදක කරගත් ටෙලි නිර්මාණයක්.
වසන්ති රන්වල කියන්නේ වේදිකාවෙන් පරිණත වුණු රංගන ශිල්පිනියක්. ඒ අතීතයත් මතක් කරමුද?
රංගනයේ දී පළමුවැනිම ගුරුවරයා වුණේ මගේ පියා විනී රන්වල. ඊට පස්සේ රංගනය ක්‍රමානුකූලව හදාරන්න ඕන කියල හිතාගෙන තැනකට ගියා නම් ඒ තැන්වලදි මට හමුවුණු මගේ ගුරුවරු හතරදෙනා තමයි ඩග්ලස් සිරිවර්ධන, එච්.ඒ. පෙරේරා, පරාක්‍රම නිරිඇල්ල, වසන්ත විට්ටච්චි කියන මහත්වරුන්. ඊට පස්සේ මානෙල් ජාගොඩ මහත්මිය ඇතුළු ගුරුවරු ගොඩක් හමුවුණා. එතුමිය එක්ක මං අවුරුදු හතරක් සම්පූර්ණයෙන්ම වැඩ කළා. මං සම්බන්ධ වුණු ලොකුම අධ්‍යයනයක් ලබපු වර්ක් ෂොප් එක එතුමිය එක්ක ගත කළ ඒ අවුරුදු හතර කියලයි මං දකින්නේ. අවසානයේ අපි ප්‍රඩක්ෂන් කළා. ඒ ආපු ගමන තමයි මේ දක්වා ඇවිත් තියෙන්නේ.
මේ වෙද්දි ඔබ ගොඩක්ම දකින්න ලැබෙන්නේ පුංචි තිරයේ. පළමු ටෙලි අත්දැකීම ගැන මතක් කළොත්?
පරාක්‍රම නිරිඇල්ල මහත්මයාගේ ඒකාංගික ටෙලි නිර්මාණයක ටීචර් කෙනෙක් විදිහට පළමු ටෙලි අත්දැකීම ලැබුවා මතකයි. ඊට පස්සේ දිගින් දිගටම ටෙලි නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. නාලන් මෙන්ඩිස්ගේ ‘නෑනලා‘, ‘සල්සපුනා‘ ටෙලි නිර්මාණ දෙකටම සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ වගේම ‘සිධූ‘, ‘රාවණා‘, ‘ත්‍රෛලෝකා‘ වගේ නිර්මාණ රැසකට දායක වුණා.
ඔබ වේදිකාවෙන් බිහිවුණු ශිල්පිනියක්. වේදිකාව ඔබේ සාර්ථකත්වයට කොතරම් දුරට බලපෑවද කියන එක අලුතෙන් ක්ෂේත්‍රයට එන අයටත් වැදගත් වේවි?
වේදිකාවෙන් ලබන අත්දැකීම ගොඩක්ම වටිනවා. එ් කියන්නේ අපිට සජීවී ප්‍රේක්ෂකාගාරය එක්ක සම්බන්ධ වීමේ හැකියාව ලැබෙනවා. වේදිකාවෙදි අපේ රංගනයේ ගුණ දොස් එවෙලෙම දැනගන්න පුළුවන්. අනිත් එක තමයි වේදිකා නිර්මාණයක් මාස ගාණක් පුහුණු වෙනවා. ඒක වේදිකාගත වෙද්දි ඒ පිටපත ගැන මනා අවබෝධයක් තියෙනවා. එක පාරම සීන් එකට ගිහින් දෙබස් ටික කියල එනව වගේ පොඩි වපසරියක වැඩක් නෙවෙයි ඒක. පහුගිය වකවානුවේ ටෙලිනාට්‍ය වුණත් කළේ ඒ විදිහට තමයි.
ඔබ එදා මෙදා යුග දෙකේම අත්දැකීම් ලබපු කෙනෙක්. එදා මුළු තිර පිටපතම අතට ලැබුණට අද බොහෝ දුරට ලැබෙන්නේ කොටස් වශයෙන්. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඒකට අපට මොනවත්ම කියන්න බැහැ. මොකද ඒක ඒ තත්ත්වෙට එන්න බාහිර සාධක ගොඩාක් බලපාල තියෙනවා. ඒ නිසා ඔවුන් ඒ තැනට පත්වෙලා තියෙනවා. දැන් මේක කලාව කියන එකට අමතරව බිස්නස් කියන තැනටත් ගිහින් තියෙනවා. සමහර වෙලාවට කලාව දෙවැනි තැනට වැටෙන අවස්ථාත් තියෙනවා. ඒක මේ හතු පිපෙනවා වගේ එක පාරටම වුණු දේකුත් නෙවෙයි. කාලයක් තිස්සේ වටපිටාවේ තියෙන ලොකු බලපෑමත් එක්ක තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒ නිසා මං ඒකට කාටවත්ම ඇඟිල්ල දික් කරන්නේ නැහැ.
දිනෙන් දින මේ ක්ෂේත්‍රයට එන පිරිස වැඩි වෙනවා. නමුත් රඳා පවතින ප්‍රමාණය අඩුයි. ඒ වෙනස ඔබට දැනෙන්නේ කොහොමද?
මෙහෙමයි, ඒ කාලේ හිටියෙ හරිම සීමිත ප්‍රමාණයයි. තරගයක් තිබුණත් ඒ ඉන්න අය අතරේ මිසක් අද වගේ ලොකු පිරිසක් හිටියෙ නෑ. එදා ඕනෙනම් අවුරුදු ගාණක් ගිහින් එක් කෙනෙක් ක්ෂේත්‍රයට එකතු වුණා. අද එහෙම නෙවෙයි. හෙට බලද්දි දහදෙනෙක් ඇතුළු වෙලා. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. ඒ ඇතුළු වෙනවා වගේම එයාලට පවතින්නත් බැරි වෙනවා. එන්න ලේසි වුණාට පවතින එක ලේසි නෑ. එහෙමම හැරිල යන පිරිසකුත් ඉන්නවා. අධ්‍යයනයක් තුළින් නාවත් අඩු ගානේ ආවට පස්සෙවත් අධ්‍යයනයක නියැළෙමින් මේ ගමන යනවා නම් තමයි පවතින්න පුළුවන් වෙන්නේ. ගොඩක් වෙලාවට තරග හරහා එන අලුත් ළමයි එන්නේ අධ්‍යයනයකින් නොවෙන්න පුළුවන්. එයාලට වුණත් කරන්න තියෙන්නේ මේ ගමන යන අතරේ මේ ක්ෂේත්‍රය පිළිබඳ හැදෑරීමක් කරන එක.
ඔබේ දුව සිළිඳු රන්වලත් සම්මානනීය රංගන ශිල්පිනියක්. ඇය මේ ක්ෂේත්‍රයට යොමුවීම ගැන මොකද හිතෙන්නේ?
මං ඒකෙ වරදක් දකින්නෙ නැහැ. නමුත් පළමුවැනි තැන දෙන්න ඕන අධ්‍යාපනයට. මං කියන්නේ අපි ඇත්ත දකින්න. ඇත්ත පිළිගන්න පුළුවන් මට්ටමේ ඉන්න ඕන. අපි ඉන්නේ මොන වගේ සමාජයක ද? මොන වගේ රටකද? මොනවගේ ආර්ථිකයක් තුළ ද? කියන එක අපි මුලින්ම අවබෝධ කරගන්න ඕන. මොන දේ කළත් වැඩක් නෑ තමන්ට අවශ්‍ය මූලික දේ නැතුව. ඉන්න තැනක්, අඳින්න, කන්න බොන්න තියෙන්න ඕන. ඒ මූලික අවශ්‍යතාත් නැතුව කලාවක් කරන්න අමාරුයි. ඊට පස්සෙ වෙන්නේ අනුන්ට වෛර කර කර, ඊර්ෂ්‍යා කර කර තමයි ඉන්න වෙන්නේ. ඕනෑම ක්ෂේත්‍රයකට ඒක අදාළයි. අපේ රටේ ඉදිරි අනාගතේ ගැන යම්කිසි අවබෝධයක් අපිටම ගන්න පුළුවන්. හීන ලෝකවල ඉන්න එපා. මේකෙන්ම යැපෙන්න සූදානම් වෙන්නත් එපා. පුද්ගල සරණ යන්නත් එපා. මං මේක මගේ ළමයට විතරක් නෙවෙයි මගේ වර්ක් ෂොප්වලට සම්බන්ධ වෙන දරුවන්ටත් කියන දෙයක්. පළමුවැනි දේ ඉගෙන ගන්න. ඒක නැතුව මොනම දෙයක්වත් කරන්න බෑ. ඒක හරියට ඉන්ෂුවරන්ස් එකක් වගේ.
අද ක්ෂේත්‍රයට එන බොහෝ දෙනෙක් අධ්‍යාපනය පැත්ත ගැනත් සැලකිලිමත් වෙනවා නේද?
ඒක ගැන නම් හරිම සතුටුයි. ලොකේෂන්වලදි හමුවෙන සමහර ළමයි රඟපාන ගමන් මාස්ටර් එකත් කරනවා. නැන්දේ මං මේ පාඩම් කරලයි ෂූටින් එන්නෙ කියලා කියන ළමයි ඉන්නවා. ෂූටින් ඉන්න අතරේ වරුවක් අරන් ගිහින් විභාගය ලියල එන අයත් ඉන්නවා. ගොඩක්ම මං ඒ තත්ත්වය දකින්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ. ඒක හරිම සුබ ලකුණක්. නමුත් කාලය කමින් අනුන්ගේ දේවල් හොය හොයා නිකන් ඉන්න පිරිසකුත් ඉන්නවා.
සිළිඳු කියන්නෙත් සම්මානනීය නිළියක්. ඒ ගැන මොකද හිතෙන්නේ?
මගේ ළමයා නිසා කියනවා නෙවෙයි. ඇත්තටම එයා හරිම දක්ෂ ළමයෙක්. කලාව පැත්තෙන් ගත්තොත් ඒක මං දකිනවා. එයා රංගනයට, ගායනයට වගේම නර්තනයටත් හරිම දක්ෂයි. බොහෝ දෙනෙක් ඇගේ නර්තනය දැකල නෑ. ඒ අතිනුත් ඇය ඉතාම දක්ෂයි. මම කියන්නේ එයාගේ ඒ දක්ෂතා එළියට දාන්න නම් එයා ආර්ථික අතින් ශක්තිමත් වෙන්න ඕන. හැම දරුවකුටමත් එක්කයි මං මේක කියන්නේ.