මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ශීඝ්‍රයෙන් සංසරණය වන සණුක වික්‍රමසිංහගේ ‘ඉතින් මම ඉන්නවා’ ගීතය ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයේ පෙරළියක් කරමින් නැරඹුම් වාර මිලියන එකහමාර ඉක්මවා තිබීම සුවිශේෂී තත්ත්වයකි. එය ඔස්ට්‍රේලියානු ගීත ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට ඇතුළත් වී තිබීම ද සිංහල ගීත ක්ෂේත්‍රයට වටිනාකමක් ගෙන දෙන්නකි. මින් පෙර ඔහු නිර්මාණය කළ වින්ඩි ගුණතිලක ගයන ‘අයියෝ සාමිනී’ ගීතය ද මෙරට මෙන්ම විදෙස් රටවල ගීත ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම රැඳී තිබුණු බව අමතක නොවෙයි. ඉන්දීය දමිළ සිනමාවට ද ඔහුගේ හැකියාව දැනී තිබීම ද විශේෂත්වයකි. ‘ඉතින් මම ඉන්නවා’ පිළිබඳව කතා කරන්නට සණුක අද අප හා එක්වුණා.
සණුකගේ අලුත්ම ගීතය ‘ඉතින් මම ඉන්නවා’ මේ දිනවල අතිශයින්ම ජනප්‍රියයි. ඒ ගැන කතා කළොත්?
‘ඉතින් මම ඉන්නවා’ ගීතය ශ්‍රී ලංකාවේ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ පළමුවැනි තැනට ආවා වගේම ඔස්ට්‍රේලියානු ගීත ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවෙත් දාහත්වැනි තැනට ඇවිත් තියෙනවා. මේ ගීතයේ පද රචනය, සංගීතය, ගායනය වගේම මික්ස් ඇන්ඩ් මාස්ටර් සිදු වුණේ මගේ අතින්. මියුසික් විඩියෝ එක කළේ චමිල් පතිරණ. සෑහෙන කාලෙකට පස්සේ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය මේ ගීතය සඳහා රංගන දායකත්වය ලබාදීමත් විශේෂත්වයක්. මේක ඇයගේ පළමුවැනි මියුසික් වීඩියෝ එක. ඊට අමතරව එහි ගුරුතුමා ලෙස රංගනයෙන් දායක වන ධනුෂ්ක ඩයස් මගේ පාසලේ සහෝදරයෙක්. ඒ වගේම ගැහැනු ළමයා ලෙස රංගනයෙන් දායක වන කුෂාන්‍යා ෆොන්සේකා අප අතරින් වියෝ වුණු නිළි රැජන මාලිනී ෆොන්සේකා මහත්මියගේ මිනිබිරියක්. ඊට අමතරව තවත් විශාල පිරිසක් මේ සඳහා දායකත්වය ලබා දුන්නා. ඒ හැමදෙනාවම මම ආදරෙන් සිහිපත් කරනවා. මේ වෙද්දි නැරඹුම් වාර ලක්ෂ දාහතක් දහඅටක් ඉක්මවා ගිහින් තියෙනවා.
‘ඉතින් මම ඉන්නවා’ ඔබේ පද රචනයක්. කොහොමද අදහස එන්නේ?
ඇත්තටම මම මෙහෙම අදහසක් ඇතුව ලියන්න පටන් ගත්තා නෙවෙයි. තනුවට ගැළපෙන වචන ලියමින් ඉද්දි මැද හරියෙදි තමයි මේ අදහස ආවේ. තනුවේ තියෙන්නේ විරහ රසයක්. දුකම නොවුණත් අසම්මත පෙමක් එහෙම නැත්නම් දුරින් ඉඳන් ආදරය කිරීමක් වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. එහෙම හිතාගෙන ලියාගෙන යද්දි තමයි මේ අදහස ආවේ.
ගීතය ලියද්දී ඔබේ හිතේ තිබුණු අදහසම වීඩියෝ එකෙන් සනාථ වෙනවා කියල හිතෙනවද?
මේක ලියද්දී ගුරු ගෝල සම්බන්ධයක් කියන අදහස මගේ හිතේ තිබුණා. නමුත් මගේ කතාව වර්ධනය කරමින් වීඩියෝ එකට වෙනස්ම අවසානයක් ලබාදුන්නේ චමිල් පතිරණ. ඔහු ගීතයට හානියක් නොවෙන්න මගේ අදහස වෙනම තැනකට අරන් ගියා. ඔහු හරිම ලස්සන නිමාවක් දීල තිබුණා.
ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?
ඉතාම ඉහළයි. හිතුවටත් වඩා ප්‍රතිචාර ලැබුණා. මං ඒ සින්දුව එළියට දාන වෙලාවෙ ලංකාවෙ තිබුණේ වේග රිද්මය පැත්තට බර ගතියක්. නමුත් මේ ගීතය ඉන්දියන් ක්ලැසිකල් පැත්තට බර, ලංකාවෙ ගත්තොත් පැරැණි ගීතවලට ළඟින් යන ගතියක් තියෙන්නේ. මම හැමවෙලේම අත්හදාබැලීම් කරනවා. මේකට ප්‍රේක්ෂකයින් කොහොම ප්‍රතිචාර දක්වයිද කියන එක ගැන අදහසක් තිබුණේ නැති වුණත් හැමෝම වගේ ඒක වැලඳ ගත්තා. දැනටත් දවසට කවර්ස් හතර පහ කෙරෙනවා. ක්ෂේත්‍රයේ ගත්තත් ප්‍රවීණ, ආධුනික හැමෝගෙන්ම වගේ ප්‍රතිචාර ලැබුණා. මීට කලින් මගේ ගීතවලට හිටපු නැති ප්‍රේක්ෂකාගාරයක් මේ වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙනවා. වෙනස්ම පිරිසකගෙන් කමෙන්ට්ස් ලැබෙනවා. මේ ගීතය නිසාම මට කැමැති වුණු අයත් ඉන්නවා.
මේක බොහෝ දෙනාගේ අත්දැකීමක් වෙන්නත් පුළුවන් නේද?
ඔව්. නොයෙක් විදිහට ප්‍රේක්ෂකයින් මේ ගීතය තම තමන්ගේ ජීවිතේට ආරෝපණය කරගෙන තිබුණා. එහෙම අත්දැකීම් තිබුණු අයත් කමෙන්ට් කරල තිබුණා. මේ කතාව ඒ විදිහටම සිදුවුණු අයත් ඉඳල තිබුණා. ඒ වගේ සත්‍ය සිදුවීම් කිහිපයක් ඇසුරු කරගෙන තමයි චමිල් අයියා මේකට රූප රචනය කරල තිබුණේ.
රූප රචනය සඳහා චන්ද්‍රලේඛා මහත්මිය සම්බන්ධ කරගන්න හිතුණේ ඇයි?
සාමාන්‍යයෙන් මං ගීතයක් හදපු ගමන්ම මුලින්ම අහන්න දෙන්නේ වින්ඩිට. ඊට පස්සේ මගේ අම්මා තාත්තට සහ වින්ඩිගෙ අම්මා තාත්තට. මේ පස්දෙනා තමයි මුලින්ම අහන්නේ. රූකාන්ත අංකලුයි, චන්ද්‍රලේඛා ආන්ටියි සෑහෙන්න කැමැති වුණා මේ සින්දුවට. මේක දානකම්ම ආන්ටි තමයි උනන්දු වුණේ. ගීතය හදලා චමිල් අයියා වීඩියෝ එක ප්ලෑන් කරන් යද්දි ගැහැනු ළමයගේ අම්මට කෙනෙක් අවශ්‍ය වුණා. ප්‍රවීණ කෙනෙක් හිටියොත් හොඳයි කියන අදහස තමයි අපට තිබුණේ. එතැනදි චන්ද්‍රලේඛා ආන්ටිවත් ඔළුවට ආවා. මම ඇහුව ගමන්ම චන්ද්‍රලේඛා ආන්ටි කිසිම පැකිළීමක් නැතුව රූප රචනයට සම්බන්ධ වුණා. කොළඹ , රාගම, මීගොඩ අවට ෂූට් එක කෙරුණේ. දවස් දෙකක් ෂූට් එක කළා. වීඩියෝ ෂූට් එක වැටුණෙත් ඇයට ප්‍රසංගයක් සඳහා විදෙස්ගත වෙන්න තිබුණු දවසක. ඒක ඉවර කරලා තමයි ඇය ගියේ.
ඉන්දීය සිනමාවට සම්බන්ධ වෙලා ඉන්න නිසා ඔබ මේ දිනවල ගොඩක් කාර්යබහුලයි. මොනවද ඉදිරි නිර්මාණ?
මේ දවස්වල ඉන්දියානු සිනමාවත් එක්ක කරන නිර්මාණ එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ. අලුත් වැඩ කිහිපයක් එන්නත් තියෙනවා. ඊට අමතරව විදෙස් ප්‍රසංග කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා.