2025 වසරේ ඉහළම ආදායම් උපයමින් තිරගත වන ඉන්දීය සිනමාපටයක් ගැන මේ දිනවල එරට මාධ්‍ය තුළ විශාල අවධානයක් යොමු වෙනවා. මෙම සිනමාපටයේ නම Chhaava. මෙය ප්‍රදර්ශනය ආරම්භ කළේ පසුගිය 14 වැනි දිනයි. මේ කාලයේ ඉන්දියානු සිනමාවේ ජනප්‍රියම සහ දක්‍ෂම නළු නිළි දෙපළක් වන විකී කෞෂාල් සහ රෂ්මිකා මන්දනායි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.
චිත්‍රපටයට ඇති විශාල ඉල්ලුම නිසා ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල සහ අලුයම් කාලයේ පවා දර්ශන වාර පවත්වන බව සඳහන්. සමහර සිනමාශාලාවල පාන්දර 1ට දර්ශන වාර පැවැත්වෙන බව මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
Chhaava ප්‍රදර්ශනය ආරම්භ කළ පළමු දවසේම ඉන්දීය රුපියල් කෝටි 31ක ආදායමක් උපයන්නට සමත්ව තිබුණා. 2025 වසරේ මෙතෙක් තිරගත වූ ඉන්දීය චිත්‍රපට අතරින් පළමු දවසේ වැඩිම ආදායම ඉපැයූ චිත්‍රපටය බවට එය පත්ව තිබෙනවා. මෙයට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිතය රඟපෑ Sky Force චිත්‍රපටයයි. එය තිරගත වූ පළමු දිනයේ උපයා තිබූ ආදායම ඉ. රුපියල් කෝටි 15 ක්. Sky Force ප්‍රදර්ශනය ආරම්භ කළේ ජනවාරි 24 වැනි දිනයි. ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාගේ පළමු විවාහයේ දියණිය වන සාරා අලි ඛාන් ද මෙම චිත‍්‍රපටයේ රඟපෑවා.
විකී කෞෂාල් රඟ පෑ චිත්‍රපට අතරින් පළමු දිනයේ වැඩිම ආදායම් ඉපැයූ සිනමාපටය බවටත් Chhaava පත්ව තිබෙනවා. Uri: The Surgical Strike චිත්‍රපටය තමයි මෙයට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ. 2019 වසරේ තිරගත වූ මෙම චිත්‍රපටය පළමු දිනයේ උපයන ලද ආදායම ඉන්දියන් රුපියල් කෝටි 8.20 ක් පමණයි.
මේ අතර ප්‍රදර්ශනය ආරම්භ කර දින තුනක් ගත වෙද්දී ඉන්දියන් රුපියල් කෝටි 100 ආදායම් සීමාව පසුකර යාමටත් Chhaava සමත් වූ බව මාධ්‍ය වාර්තා කළා. මේ සියල්ල තුළින් පෙනෙන්නේ මෙම සිනමාපටය 2025 වසරේ සාර්ථකම සිනමාපටයක් ලෙස ඉතිහාසයට එක් වනු ඇති බවයි.
විකී සහ රෂ්මිකා දෙදෙනාට අමතරව මෙහි ආක්ෂේ ඛන්නා ද ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. මෙම චිත්‍රපටයට පසුබිම් වන්නේ ඉන්දියානු ඉතිහාසයේ ජීවත් වූ රණශූර රජ කෙනෙකු පිළිබඳ කතාවක්. 1681 සිට 1689 දක්වා මරාත අධිරාජ්‍යයේ පාලකයා වූ සම්භාජි රජු පිළිබඳ කතාවක් තමයි Chhaava චිත්‍රපටයට පසුබිම් වන්නේ. ඔහු ඉන්දියානුවන්ගේ අතිශය ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූ නරපතියකු ලෙස සැලකෙනවා. Chhaava චිත්‍රපටයේ ජනප්‍රියත්වයට එම සාධකයත් බලපාන බවයි සිනමා ලේඛකයන් පවසන්නේ.
මරාත අධිරාජ්‍යයට මූගල් අධිරාජ්‍යයෙන් එල්ල වූ තර්ජන නිසා සම්භාජි රජුගේ කාලය යුද ගැටුම්වලින් ගහණ වූ කාලයක් ලෙස සැලකෙනවා. තම අධිරාජ්‍යයට එල්ල වූ තර්ජනවලට එරෙහිව සම්භාජි රජු විවිධ අභ්‍යන්තර අභියෝග ද මැද සටන් කරන අන්දම තමයි Chhaava චිත්‍රපටයෙන් කියැවෙන්නේ.
මෙම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා ලක්‍ෂ්මන් උතේකර්. සංගීතය නිර්මාණය කර ඇත්තේ එ්. ආර්. රහ්මාන්. රහ්මාන්ගේ සංගීතයෙන් චිත්‍රපටයට විශාල තල්ලුවක් ලැබෙන බවත් විචාරකයන් පවසා තිබෙනවා.
චිත්‍රපටයේ කතාවට සහ එහි අධ්‍යක්‍ෂණයටත් වඩා විචාරකයන් අැගයීමට ලක් කර තිබුණේ විකී, රශ්මිකා සහ ආක්ෂේ ඛන්නාගේ රඟපෑමු යි. විකී සම්භාජි රජුගේ චරිතයට පණ දෙන අතර රශ්මිකා නිරූපණය කරන්නේ සම්භාජි රජුගේ බිසව වන යෙසුබායිගේ චරිතය යි. මූගල් රජ කෙනෙකු වන ඔරන්සෙබ්ගේ චරිතයයි ආක්ෂේ නිරූපණය කරන්නේ චිත්‍රපටය ඉතා සාර්ථක ලෙස තිරගත වුණත් මේ සඳහා එහි නළු නිළියන් එතරම් විශාල ගාස්තු අය කර නැති බවත් වාර්තා වෙනවා. මෙහි රඟපෑම සඳහා විකීට ගෙවා ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 10ක පමණ මුදලක් බවයි ඇතැම් වාර්තා සඳහන් කරන්නේ. එය මේ කාලයේ ඉන්දියාවේ ජනප්‍රිය නළුවන් අය කරන ගාස්තු හා සසඳන විට එතරම් ලොකු මුදලක් නොවෙයි.
පසුගිය වසරේ ජනප්‍රියම චිත්‍රපටයක් වූ Pushpa 2: The Rule චිත්‍රපටයේ රඟ පෑ අල්ලූ අර්ජුන් එම චිත්‍රපටය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් අය කළ බව පසුගිය දිනවල වාර්තා වුණා.