සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය හෙවත් වැලන්ටයින් සාන්තුවරයාගේ දිනය ලොව පුරා බොහෝ රටවල ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ ඉහළින් සමරනවා.
වැලන්ටයින් දින ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ එකිනෙකා කෙරෙහි ඇති හැඟීම් ප්‍රකාශ කරමින් සුභපැතුම් පත්, මල් සහ චොකලට් හුවමාරු කර ගන්නවා.
නමුත් වැලන්ටයින් දිනයේ ආරම්භය හා විකාශනය පිළිබඳ ව මත කිහිපයක් ම තිබෙනවා.
එම දිනය හා සබැඳි බොහෝ දෙනා නොදන්නා කරුණු කාරණා රාශියකුත් තිබෙනවා.
බොහෝ දෙනා නොදන්නා ඒ කාරණා කිහිපයක් පහත පරිදි වෙනවා.
මේවාට අමතරව වැලන්ටයින් දිනය පිළිබඳව ඔබ අසා ඇති, අප්‍රසිද්ධ යැයි සිතෙන දේ අපත් සමඟ බෙදා ගන්නත් අමතක කරන්න එපා.
වැලන්ටයින් දිනයේ ආරම්භය සිදු ව ඇත්තේ පුරාතන රෝම ‘සරු බව පැතීමේ’ උත්සවයකිනු යි.

වැලන්ටයින් දිනයේ ආරම්භය පිළිබඳව වූ එක්තරා මතයකට අනුව, එහි ආරම්භය ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස තරම් ඈතකට දිව යනවා.
එකල රෝමයේ සමහරක් දෙනා සෑම වසරක ම පෙබරවාරි මස 13 ත් 15 ත් අතර ලුපර්කැලියා නම් උත්සවයක් සංවිධානය කළ අතර, එහිදී කාන්තාවන්ගේ සරු බව දෙවියන්ගෙන් පැතීම සිදුවුණා. එය වර්තමාන වැලන්ටයින් දිනය මෙන් සුන්දර යමක් වූයේ නැහැ.
මෙහිදී දෙවියන්ට සත්ත්වයින් කැපකිරීම උදෙසා බිලිදීම සිදු වූ අතර, ඔවුන්ගේ ලොම් ගෙන ඒවායින් කාන්තාවන්ට පහර දීම සිදු වුණා.
මෙමගින් ඔවුන්ගේ සරු භාවය වැඩිදියුණු වෙතැයි ඔවුන් විශ්වාස කළා.
මීට අමතරව ‘ලොතරැයි ක්‍රමයකට’ කාන්තාවන්ට පුරුෂයන් පෑහීම ද එහිදී සිදු කොට තිබෙනවා.
මෙහිදී බොහෝ සත්ත්වයන් පිරිසක් බිලිදීම සිදු කෙරුණු අතර එය ඉතා අමානුෂික අන්දමින් පැවති උත්සවයක් වන්නට ඇති බැව් බහුතර විද්වත් මතය යි.
‘මල්සරා’ යනුවෙන් හඳුන්වන්නේ ග්‍රීක දේවතාවෙකි.
වැලන්ටයින් දිනය සම්බන්ධයෙන් පමණක් නොව ‘ආදරය’ සම්බන්ධ කටයුතුවලදී, එයට දිරිදෙන අයකු වන ‘මල්සරා’ නම් මනඃකල්පිත චරිතය පිළිබඳ ඔබ අසා ඇති. මල්සරා නිතර ම පෙන්නුම් කරන්නේ, දුන්නක් අතින් ගත්, නිරුවත්, කුඩා දරුවකුගේ විලාසයකිනු යි. මෙම මල්සරාගේ මූලාශ්‍රය වන්නේ ඊරොස් (Eros) නම් ග්‍රීක දේවතාවා යි.
ක්‍රි.පූ 700 තරම් ඈත කාලයකදී ග්‍රීක වැසියන් ඇදහූ මෙම දේවතාවා, සිය හීවලින් පෘථග්ජන ජනතාවට විද, ඔවුන් අතර ප්‍රේමය ඇති කරන බවට පැරණි ග්‍රීකයන් අතර පිළිගැනීමක් තිබුණා. මොහු පිළිබඳ ඇදහිල්ල ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී රෝමය වෙත ද පැතිරී ගියා. ඉන් අනතුරුව ආදරයේ සංකේතය ලෙස මෙම ඊරොස් භාවිත කරන්නට වුණා. මෙම දේවතාවා ‘මල්සරා’ ලෙස වැලන්ටයින් දිනය හා සම්බන්ධ කොට ලොවට ඉදිරිපත් කරන්නට වූයේ 19 වන සියවසේදී යි.
වැලන්ටයින් දින මල් දීම ඇරඹූ වික්ටෝරියානුවෝ

රතු රෝස ආදරයේ සංකේතයක් ලෙස පුරාතන රෝම වැසියන් සැලකුවා. මෙය ඊරොස් හෙවත් මල්සරාගේ මව ලෙස සැලකූ වීනස් දෙව්දුවට වඩාත් බහුලවම පිදූ මල් වර්ගය වුණා. කෙසේ නමුත්, පිළිවෙතක් ලෙස පුරුෂයන් තමන් ආදරය කරන කාන්තාවට මල් ලබා දෙන්නට පටන්ගෙන ඇත්තේ වික්ටෝරියානු යුගයේ දී යි. වර්තමානයේ මෙන් නොව එකල රෝස මල් මිලෙන් ඉතා අධික, සුඛෝපභෝගී භාණ්ඩයක් වුණා. රෝසමලක් මිලදී ගත හැකි වූයේ අතමිට යහමින් ඇති අයකුට පමණයි.
වර්තමානය වන විට ඉක්වදෝරය හා කොලොම්බියාව වැනි රටවල, සාපේක්ෂව අඩු ප්‍රාග්ධනයකින් රෝසමල් නිපැයෙන නිසා, ගෝලීය වශයෙන් ඒවායේ මිල පාලනය වී තිබෙනවා. රෝසමල්වල තිබූ සුඛෝපභෝගී ස්වභාවය නිසා එකල පුරුෂයන්, තමන්ට තම ආදරවන්තියෙ කෙතරම් වටිනවා ද යන්න පෙන්වීම් සඳහා මෙලෙස රෝසමල් ලබා දීම වැඩිමනත් ම සිදු කරන්නට ඇති අතර, එය අනුව යමින් වර්තමානයේදීත් වැලන්ටයින් දිනයේ දී ලොව වැඩියෙන් ම සංසරණය වන මල් වර්ගය වන්නේ රෝස මලු යි. වැලන්ටයින් දිනයේ දී ලොව විකිණෙන රෝසමල් වල ප්‍රමාණය මවුවරුන්ගේ දිනයට මෙන් ම නත්තලටත් වඩා වැඩි වෙනවා.
කවුද මේ ශාන්ත වැලන්ටයින්?

ප්‍රසිද්ධ සාන්තුවරයෙකු ගේ නමින් වැලන්ටයින් දිනය හඳුන්වනු ලබනවා.
වැලන්ටයින් සාන්තුවරයා කවුරුන්ද යන්න පිළිබඳ විවිධ මත පවතිනවා.
වැලන්ටයින් සාන්තුවරයා ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ රෝමයේ විසූ පූජකයකු බව ඒ අතුරින් ප්‍රසිද්ධ මතයක් වනවා.
විවාහක පුරුෂයින්ට දක්ෂ සොල්දාදුවන් විය නොහැකි බවට පැවති විශ්වාසය හේතුවෙන් දෙවන ක්ලෝඩියස් අධිරාජයා විසින් විවාහය තහනම් කර තිබෙනවා.
අධිරාජයා ගත් ක්‍රියාමාර්ගය අසාධාරණ යැයි හැඟුණු වැලන්ටයින් පූජකතුමා නීතිය බිඳ දමා යුග දිවියට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් රහසින් විවාහ කිරීමට කටයුතු කළ බවයි පවසන්නේ.
ඒ බව දැනගත් ක්ලෝඩියස් අධිරාජයා වැලන්ටයින් පූජකතුමා සිරගත කොට ඔහුට මරණ දඬුවම ලබා දීමට නියෝග කළා.
සිරගත කෙරුණු වැලන්ටයින් පූජකතුමා බන්ධනාගාර ප්‍රධාන ආරක්ෂකයාගේ දියණිය සමග පෙමින් වෙලුණා.
පෙබරවාරි 14 වෙනි දින මරා දැමීමට නියම වූ ඔහු ඊට පෙර සිය ආදරවන්තිය වෙත පෙම් හසුනක් ලියූ අතර එය අවසන් කොට තිබුණේ “ඔබේ වැලන්ටයින් වෙතින්” යනුවෙන්.