Latest News

කන්ගනා රනෝත්, ඉන්දිරා ගාන්ධි ලෙස රඟන Emergency දැන් පෙන්වනවා

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියානු සිනමාවේ තවත් ආන්දෝලනාත්මක චිත්‍රපටයක් ගැන මේ දිනවල ලොකු අවධානයක් යොමු වෙනවා. පසුගිය 17 වැනි දින ප‍්‍රදර්ශනය ආරම්භ කළ මෙම චිත්‍රපටයේ නම Emergency.

මේ සිනමාපටය අධ්‍යක්‍ෂණය කර ඇත්තේත්, එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේත් ඉතා දක්‍ෂ නිළියක ලෙස නමක් දිනා සිටින කන්ගනා රනෝත්. ඇයගේ Emergency චිත්‍රපටය විශේෂයෙන් අවධානයට ලක් වන්නේ එය ඉන්දියාවේ ඉතා ප්‍රසිද්ධ අගමැතිවරියක වූ ඉන්දිරා ගාන්ධි පිළිබඳ කියැවෙන චිත‍්‍රපටයක් වීම නිසායි. මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට කලින් සිටම එ් ගැන විශාල ආන්දෝලනයක් ඇතිව තිබූ නිසා එය නැරඹීමට බොහෝ දෙනෙකු තුළ ලොකු කුතුහලයක් පැවතුණා.

කිහිපවරක්ම ඉන්දියාවේ අගමැති ධුරය දැරූ ඉන්දිරා ගාන්ධි අවසානයේ මරණයට පත් වූයේ සාහසිකයන් දෙදෙනකුගේ වෙඩි පහරවලට ලක්වීමෙන්. ඇයට වෙඩි තැබුවේ ඇයගේ ආරක්‍ෂක නිලධාරීන් අතරම සිටි දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාම සික් ජාතිකයන්. ඉන්දිරා ගාන්ධි ඝාතන සිද්ධියත් මෙම චිත්‍රපටයට ඇතුළත් බව පැවසෙනවා.

කෙසේ හෝ වේවා, චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපට ආදිය මාධ්‍ය හරහා නිකුත් වෙද්දී සික් ජාතිකයන් නියෝජනය කරන ඇතැම් සංවිධාන චිත්‍රපටය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කරන්නටත්, එයට විරෝධතාව දක්වන්නටත් පටන් ගත්තා. ඔවුන්ගේ විරෝධයට හේතු වූයේ මෙම චිත්‍රපටය තුළින් සික් ජාතිකයන් පිළිබඳ වැරදි චිත්‍රයක් මවනවාය යන තර්කයයි. සික් විරෝධී හැඟීමක් මෙම චිත්‍රපටය නිසා ඇති වන බවක් ද ඔවුන් ප්‍රකාශ කර සිටියා. එ් නිසා මෙය තහනම් කළ යුතු බවටත් ඇතැම් සංවිධාන කියා සිටින්නට පටන් ගත්තා. මෙම තත්වය තුළ කන්ගනා ඇතුළු චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම විශාල ගැටලුවකට මුහුණ දුන්නා.

ඉන්දිරා ගාන්ධිගේ ඝාතනය පෙන්වන දර්ශන චිත්‍රපටයෙන් ඉවත් කරන මෙන් ද බලපෑම් එල්ල වුණා. නමුත් එක් අවස්ථාවක කන්ගනා පවසා තිබුණේ තමා කිසිසේත් එයට සූදානම් නැති බවයි.

“මම සික් සංවිධානවල අයට මේ චිත්‍රපටය පෙන්නුවාම ඔවුන් කීවා සික් ජාතිකයන් ඉන්දිරා ගාන්ධි මරපු බව පෙන්වන්න එපා කියලා. එහෙම නම් මං මොකද්ද පෙන්නන්නෙ? ඇය මැරුණෙ අකුණක් ගහල කියලද?“ කන්ගනා වරක් රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණා.

කෙසේ හෝ වේවා, චිත්‍රපටයට එරෙහිව ඉහත කී ආකාරයෙන් විරෝධතා එල්ල වෙද්දී ඉන්දියාවේ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා අනුමත කරන මණ්ඩලයට ද එය ප්‍රශ්නයක් බවට පත් වුණා. ඇතැම් පාර්ශ්වවලින් මෙම මණ්ඩලයට ද බලපෑම් එල්ල වූ බවත්, එහි සාමාජිකයන්ට මරණ තර්ජන පවා එල්ල වූ බවත් මාධ්‍ය හරහා වාර්තා වුණා. අවසානයේ චිත්‍රපටයේ ඇතැම් කොටස් ඉවත් කරන මෙන් මෙම මණ්ඩලය චිත්‍රපට කණ්ඩායමට දැනුම් දී තිබුණා. දැන් චිත්‍රපටය ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණ ඇත්තේ එම කොටස් ඉවත් කිරීමෙන් පසුවයි. නමුත් චිත්‍රපටයට එයින් ලොකු බලපෑමක් සිදුව නැති බව කන්ගනා පවසනවා.

කන්ගනා රනෝත්ට අමතරව මෙහි අනූපම් කේර්, මහිමා චෞද්රි, මිලින්ද් සෝමාන් වැනි දක්‍ෂ නළු නිළියන් ද චරිත නිරූපණය කරනවා.

Emergency චිත්‍රපටයට සික් ජාතිකයන්ගෙන් මෙන්ම ඇතැම් දේශපාලන නායකයන්ගෙන් ද පසුගිය කාලයේ විරෝධතා එල්ල වුණා. මේ ආකාරයෙන් විරෝධතා දැක්වූවේ ඉන්දිරා ගාන්ධි අයත් වූ ඉන්දීය කොංග්‍රස් පක්‍ෂයේ ඇතැම් සාමාජිකයන්. ඔවුන් පැවසුවේ කන්ගනාගේ චිත්‍රපටයෙන් සිය නායිකාවගේ ප්‍රතිරූපයට හානියක් සිදුවන බවයි.

1975 වසරේ ජූනි මාසයේ සිට 1977 මාර්තු මාසය දක්වා මාස 21 ක කාලයක් ඉන්දිරා රට පාලනය කළේ හදිසි නීතිය යටතේයි. එ් එකල ඇයගේ පාලනයට දැඩි අනතුරක් එල්ල වී තිබූ නිසායි. එම කාලයේ ඇයගේ දේශපාලන විරුද්ධවාදීන් මෙන්ම මාධ්‍ය ද මර්දනය කිරීමට ඉන්දිරා දැඩි පියවර ගත්තා. මෙම අඳුරු කාලවකවානුව ගැන තමයි කන්ගනාගේ Emergency චිත්‍රපටයෙන් ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ. මෙම සිනමාපටයෙන් ඉන්දිරා ගාන්ධිගේ ප්‍රතිරූපයට හානියක් සිදු වන බවට ඇගේ පක්‍ෂයේ අය තර්ක කරන්නේ මෙම තත්වය තුළයි.

කන්ගනා මේ වනවිට නිළියක පමණක් නොවෙයි. ඇය ඉන්දියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරියක්. ඇය නියෝජනය කරන්නේ ඉන්දිරා අයත්ව සිටි කොංග්‍රස් පක්‍ෂයේ ප්‍රධානම ප්‍රතිවාදියා වන භාරතීය ජනතා පක්‍ෂයයි. කන්ගනා ඉන්දිරා ගාන්ධිගේ ප්‍රතිරූපයට හානි කරන චිත්‍රපටයක් තනා ඇති බවට චෝදනා එල්ල වීමට මෙම කාරණයත් බලපානවා.

මෙම චිත්‍රපටයේ කන්ගනාගේ පෙනුම විස්මයජනක ලෙස ඉන්දිරා ගාන්ධිගේ පෙනුමට සමානයි. ඒ ගැන මෙන්ම ඇයගේ විශිෂ්ට රංගනය ගැන ද බොහෝ විචාරකයන් සහ ප්‍රේක්‍ෂකයන් මේ වන විටත් කතා කර තිබෙනවා.

World News

Send your contact Details Today