Latest News

“තිර රචනය කියන්නේ සෙල්ලං වැඩක් නෙමෙයි” – ලක්ෂාන් වත්තුහේවා

Published 9 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ළමා රංගන ශිල්පියෙක් විදියට කා අතරත් ජනප්‍රිය වූ ලක්ෂාන් වත්තුහේවා මේ වෙද්දී රංගනයට අමතරව පිටපත් රචනය තුළින් සිය දක්ෂතා පෙන්නුම් කරනවා. මේ දිනවල විකාශය වන නාට්‍යය කිහිපයකම පිටපත් රචකයා වන්නේ ද ලක්ෂාන් වත්තුහේවායි.

මේ දවස්වල නිර්මාණ කටයුතු කොහොමද?

මම හොඳින් ඉන්නවා මේ දවස්වල.ඉතාම කාර්යබහුල ජීවිතයක් ගෙවන්නේ.හැබැයි ඒ වෙලාව ඇතුළේ ජීවත් වෙන්නත් ඉඩක් තියෙනවා..

දෙරණ නාළිකාවේ “සිත නිදි නෑ” ටෙලි නාට්‍යය ලියාගෙනෙ යනවා. “බැක්සයිඩ්” ටෙලි නාට්‍යය ඉවර වුණා. අයි. ටී. එන් එකේ. ඊට අමතරව විශ්ව ලංකාගේ ටෙලි චිත්‍රපට කිහිපයක්ම ලිව්වා. ඒකෙන් දෙකක් ඉස්සරහට තිරගත වෙන්න තියෙනවා. ඊට අමතරව අලුත් වැඩ විදියට මං ලියපු the last message චිත්‍රපටය සහ King the hitman රූපගත කිරීම් ආරම්භ කරන්න ලෑස්ති කරලා තියෙනවා. ඉන්දික ජයසූරිය නිෂ්පාදනය කරන, තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කරන, සාලිය ඉලංගසිංහ සංගීතය සපයන තවත් කොටස් තිහක ටෙලි වෘත්තාන්තයක් මෙන්ම තිළිණ සහ සාලියගේ සුසංයෝගය ඇතිව තවත් මනෝවිද්‍යාත්මක ටෙලි වෘත්තාන්තයකට සූදානම් වෙනවා.

ඔබ කොහොමද පිටපත් රචනයට යොමු වුණේ?

මම පිටපත් රචනයට යොමු වෙන්නෙ දේවින්ද කෝන්ගහගේගෙ සහයකයා විදියට. ඔහු තමයි මට පිටපත් රචනයේ මූලබීජ ටික උගන්වන්නේ. ඊට පස්සේ ජානක සිරිවර්ධන මහත්මයත් එක්ක දීර්ඝ ටෙලි නාට්‍ය කිහිපයක්ම රචනා කිරීමෙන් පන්නරය ලැබුවා.

මුල්ම ටෙලි නාට්‍ය නිර්මාණය මොකක් ද?

මම ලියපු මුල්ම ටෙලි නාට්‍ය නිර්මාණය හොල්මන් ඒකාංගික ටෙලි නාට්‍යයක්. හැබැයි ඒක විකාශය වුණේ නෑ. විකාශනය වුණු මුල්ම ටෙලි නාට්‍යය තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කරපු “සසර වස්සානේ”. ඒක දෙරණ නාළිකාවේ විකාශණය වුණා.

වැඩියෙන්ම ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වුණු නිර්මාණය මොකක් ද?

මගේ පිටපතක් වැඩියෙන්ම සමාජයේ කතාබහට ලක් වුණේ “සිත නිදි නෑ” ටෙලි නාට්‍යය. ඒක දීර්ඝ ටෙලි නාට්‍යයක්. කලාත්මක පිටපතක් විදියට සමාජයෙන් හිතාගන්න බැරි ප්‍රතිචාරයක් ලැබුණෙ “බැක්සයිඩ්” ටෙලි නාට්‍යයෙන්. ඒක වෙනම වැඩක්.

සිනමා පිටපතක් එහෙම ලියන්න අදහසක් නැද්ද?

සිනමා පිටපත් දෙකක් දැනට ලියා අවසන් කරල ප්‍රසාද් විජේසූරියට දීල තියෙන්නෙ. ඉන් එකක් බොහෝ විට ජනවාරියේ රූගත කිරීම අරඹයි. එකක් The last message සහ අනික King the hit man.

ඔබ රඟපෑමට යොමුවෙලා නැද්ද?

රංගනය යටපත් වෙලා නෙමෙයි ඉඳලා හිටලා තමයි රඟපාන්නේ. තිර පිටපත්වලට කාලය මිඩංගු කරාට පස්සේ රංගනයට කාලය නැති තරම්. තිර රචනය කියන්නේ සෙල්ලං වැඩක් නෙමෙයි ලොකු වෙහෙසක් කාලයක් ගන්න ඕන වැඩක්. අනික ඒක ආර්ථිකයටත් සෑහෙන්න හොඳයි. එනිසා වැඩිබර පිටපත් රචනයට වුණාට හොඳ නිර්මාණයක් ලැබුණොත් රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

පුංචි වීරයෝ කණ්ඩායම තවම හමුවෙනවද?

පුංචි විරයෝ කණ්ඩායමේ තුන් දෙනෙක්ම ඉන්නෙ විදෙස් ගතවෙලා. මේ ළඟදි ඒකෙ නිපුණිට රඟපාපු වෛද්‍ය දෙව්මි මලලසේකර ඇවිත් ගියා. කල්පනීට රඟපාපු ආචාර්ය තේජානි ගුණරත්න මේ දිනවල ලංකාවෙ ඉන්නවා කෙටි නිවාඩුවකට ඇවිල්ලා. හර්ෂ අ‍ෙමරිකාවෙ. තාරකයි මමයි ලංකාවෙ.

අන්තිමට රඟපෑ නිර්මාණය මොකක් ද?

මම අන්තිමටම රඟපෑවේ “බැක්සයිඩ්” ටෙලි නාට්‍යයේ කෙටි චරිතයකට. ඊට කලින් විශ්ව ලංකාගේ ටෙලි චිත්‍රපටයකට.

ලක්ෂාන් යූ ටියුබ් සමාජ මාධ්‍ය හොඳින් භාවිත කරන කෙනෙක්, කොහොමද ඒ හරහා ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම මගේ යූටියුබ් මාධ්‍යය ඉතාම වේගයෙන් වර්ධනය වෙනවා. මගේ ලක්ෂාන් වත්තුහේවා චැනල් එකේ මම කාලීන, අධ්‍යාපනික, සංස්කෘතික සහ දේශපාලනික වැඩසටහන් කරනවා. ඒවට හොඳ ප්‍රතිචාර තියෙනවා.

පවුලේ විස්තර මොනවද?

පවුලේ විස්තර කිව්වොත් අම්ම තාත්ත ඇතුළු මට සහෝදරියෝ දෙන්නයි, එක සහෝදරයයි. ඒ ඔක්කොම විවාහකයි. මගෙ බිරිඳ ලක්ෂි සහ දුව ලක්ශේන්ද්‍රි. දුව ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නවා.

2025 ඉලක්ක මොනවද?

2025 දී අලුත් නිර්මාණ ගණනාවක් එළියට එන්න තියෙනවා. ඊට අමතරව මගේ දෙවැනි නවකතාව එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ යූටියුබ් චැනල් එක ඉදිරියට වර්ධනය කරගන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

World News