Latest News

“මම කැම්පස් ගියේ අම්මගේ උවමනාවට” – හංසිනි විමලසිරි

Published 11 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හංසිනි විමලසිරි කියන්නේ මේ දවස්වල Meri Jaan සහ Chuttamalle Cover Song නිසා කාගේත් අවධානය දිනා ගෙන තියෙන දක්ෂ ගායිකාවක්. ඇය ගායිකාවක් පමණක් නෙවෙයි පුංචි තිරයේ හැඩකාර රංගන ශිල්පිනියක්.

හංසිනි මේ දවස්වල මොකද වෙන්නේ?

මේ දවස්වල ටෙලි නාට්‍යය කටයුතුවලින් ටිකක් අයින් වෙලා තනිකරම සංගීත නිර්මාණ කටයුතු එක්ක ඉන්නේ. කවර් සෝන්ග් වගයක් කළා. ඒ එක්කම මගේම නිර්මාණ කිහිපයක් කරලා තියෙනවා සහ කරන්නත් තියෙනවා. ඊට අමතරව සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරන කල්පනා චිත්‍රපටයේ පසුබිම් ගායනයට එක්වෙන්න අවස්ථාව ලැබුණා.

මෑත කාලයේ ඔබේ කවර් සෝන්ග් එකක් වයිරල් වුණා…

ඔව්. දෙවැනි එකත් වයිරල් වීගෙන ඇවිත් නැවතුනා. ඒකට හේතුව අපි ඒ දේවල් කළාට අනුන්ගේ සින්දු නේ. ඒ නිසා කොපි රයිට් ප්‍රශ්න එහෙම එනවා. පළමු සින්දුවට නම් හිතා ගන්න බැරි තරමේ ප්‍රතිචාර ලැබුණා.

ඔබ කොහොමද කලාවට එන්නේ?

මගේ පවුලේ කලාවට සම්බන්ධ මගේ අම්මා. සම්පූර්ණම ගත්තම මගේ කටහඬේ ඉඳන් රඟපෑමත් අම්මාගෙන් ලැබුණ දෙයක් ලෙසයි මම සලකන්නේ.

අම්මාත් රංගන ශිල්පිනියක් ද?

අම්මා ප්‍රසිද්ධ වේදිකාවේ රංගන ශිල්පිනියක් නෙවෙයි. නමුත් හැකියාව උපරිම තිබ්බ කෙනෙක්. අම්මා ඒ කාලේ පිබිදෙන ගායන පරපුරේ සින්දු කියපු කෙනෙක්. ඒ හැරුණම ගමේ වේදිකා නාට්‍යය නිළියක්. සරලවම ගත්තොත් එයාට අවුරුදු විසි ගණන්වල තිබ්බ වොයිස් එකම තමයි මට තියෙන්නේ.

හංසිනි ට පවුලේ තව කවුද ඉන්නේ?

මමයි අයියලා තුන් දෙනයි.

එයාලටත් සින්දු කියන්න පුළුවන්ද?

අපේ පවුලේ තාත්තට හැරෙන්න අනිත් ඔක්කොටම සින්දු කියන්න පුළුවන්.

හංසිනි පාසල් ගියේ කොහෙද? කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මම පාසල් ගියේ තිස්සමහාරාම දෙබරවැව මාධ්‍ය මහා විද්‍යාලයට. පාසල් යන කාලේ කලාවට එනවා කියලා අදහසක් තිබුණේ නැහැ. මම කැම්පස් එන්නෙත් අම්මගේ උවමනාවට. මම පොඩි කාලේ ඉඳන්ම ආස කළේ ෆැෂන් ඩිසයිනින් පැත්තට. ඒත් ඉරණම ලියවිලා තියෙන්නේ ගායනයට රංගනයට වෙන්න ඕනේ. මම මුලින්ම එන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට. එතැන අවුරුදු එකහමාරක් වගේ කාලයක් යද්දී මම රියලැටි තරගයකට ඇතුළු වෙනවා. එතැනින් පස්සේ තමයි දෙරණින් මුලින්ම ආරාධනා ලැබෙන්නේ ටෙලි චිත්‍රපටයකට. දිලුක ගුණතිලක මහතා එක්ක තමයි මුල් කාලේ වැඩ කළේ. ඊට පස්සේ තමයි සංගීතේ නාට්‍යයට අවස්ථාව ලැබුණේ. ඔය කාලේ තුළ සංගීතය මට ගොඩක් මඟ හැරුණා. දැන් මම සංගීතේ නාට්‍යයෙන් අයින් වෙලා ඉන්නේ. දැන් තමයි සංගීතයට වැඩි ඉඩක් දීලා තියෙන්නේ.

අද වන විට අම්මාට වඩා දුරක් දුව ගිහින් තියෙනවා, අම්මා මොකද කියන්නේ?

අම්මා ඉන්නේ එයා දින්නා වගේ තමයි. මම මේ ගමන එන්නේ අම්මා නිසා. මගේ මේ ගමනේ හොඳම කටු ටික කෑවේ මගේ අම්මා. රියලැටි එන කාලේ අම්මත් මා එක්ක ඉන්න ඕනේ නිසා හොස්ටල් එකෙන් ඇවිත් පොඩි කාමරයක් අරගෙන එක බත් එක කාලා ආව ගමනක් මේ. ඒ වෙද්දී මගේ තාත්තාව මෙහෙ නතර කර ගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. පවුලේ හැමෝම මට උපරිම උදව් කළා. හැබැයි පැය 24ම මා එක්ක හිඳිමින් කටු ටික කෑවේ අම්මා. මම ඒ වෙද්දී රැකියාවක් කරන්නේ නැහැනේ. මගේ වියදම් ඔක්කොම බැලුවේ තාත්තා සහ අයියලා තුන්දෙනා. ඒ අය තමයි මට මෙතැනට එන්න පාර කැපුවේ.

දැන් අයියලා මොකද කරන්නේ?

ලොකු අයියා දුම්රිය ස්ථානාධිපති කෙනෙක්. දැන් නම් නිවාඩු පිට රට ඉන්නේ. දෙවැනි අයියා ජලසම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවරයෙක්. තුන් වෙනි අයියා සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාර කරගෙන යනවා.

හංසිනිගේ බලාපොරොත්තු මොනවද?

ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. මම මේ වෙද්දී පෞද්ගලික පන්ති කරගෙන යනවා. සංගීත විෂය 6-11 වසර දක්වා සහ මූලික කටහඬ පුහුණු පන්ති කරගෙන යනවා වයස් භේදයකින් තොරව. මේ ටිකේ කරගෙන යන වැඩ හොඳින් කර ගන්න සහ හොඳ නාට්‍යයක් ලැබුණොත් දායක වෙන්න ආසාවෙන් ඉන්නවා. ඒ එක්කම මගේ සින්දු ටික කරගෙන හොඳ ගායිකාවක් වෙන්න කැමත්තක් තියෙනවා.

වැඩියෙන්ම කැමති ගායනයටද රංගනයටද?

එහෙම කියන්න බැහැ. ඇක්ටින්වලදී මම ඒ තුළ ජීවත් වෙනවා. මියුසික්වලදී මම මියුසික් ෆීල් කරනවා. මම රංගනයට එනකම් කරලා තිබ්බේ පාසල් නාට්‍යයක් පමණයි. ඒ නාට්‍යය එක්ක අපි ටවර්හෝල් ආවා. කලාප සහ පළාත් තරග දිනලා. එතැනින් පස්සේ මොනවහරි දෙයක් ඉගෙන ගත්ත නම් ඒ මම රංගනයෙන් දායක වුණු වැඩත් එක්ක ලැබුණු අත්දැකීම් නිසා.

පෞද්ගලික ජීවිතේ ගැන කිව්වොත්?

මගේ සැමියාත් රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක්. ඔහු නමින් නවින් දිල්ශාන්. සංගීතේ නාට්‍යයේ මගේ හස්බන්ඩ්ට හිටියෙත් එයාමයි. අපිට දැන් අවුරුදු හතරක පුංචි දුවක් ඉන්නවා. ඇත්තම කිව්වොත් මට වැඩිය එයා කාර්යබහුලයි. මොකද වෙනත් රැකියාවක් කර ගමන් තමයි සංගීත වැඩ කටයුතු සහ රංගන කටයුතු කරන්නේ. එයා තමයි කල්පනා චිත්‍රපටයෙත් සංගීත අධ්‍යක්ෂවරයා. කලිනුත් ටෙලි ෆිල්ම් සහ ටෙලි නාට්‍ය වල මියුසික් කරලා තියෙනවා. දෙන්නා එකටම ප්‍රසංගවලට යනවා සින්දු කියනවා.

World News