Latest News

“මම ආසයි ගුවන් නියමුවෙක් වෙන්න” – ළමා රංගන ශිල්පී උමේෂ් ලක්ෂාන් සිගේරා

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කලා ක්ෂේත්‍රය තුළ සිය රංගන හැකියාවන් තුළින් හරි අපූරුවට දස්කම් පාන හපනුන් විවිධාකාරයේ ටෙලි නාට්‍ය නිර්මාණ සහ සිනමා නිර්මාණ තුළින් අපට දක්නට ලැබෙනවා. කුඩා කල සිටම කලාව තුළින් තම හැකියාවන් ඔප මට්ටම් කර ගත් එවැනි පුංචි හපනුන් සැබැවින්ම දක්ෂයන්ය. හදගැස්ම අපත් සමඟ කතා බහට එක් වූ මේ ළමා රංගන ශිල්පියා මේ දිනවල විකාශය වන ‘දෑස මත මොහොතක්’ සහ ‘අම්මා වගේ’ ටෙලි නාට්‍ය තුළින් ඔබ හමුවට එන ළමා රංගන ශිල්පී උමේශ් ලක්ෂාන් සිගේරා.

පුතේ කොහොමද ඔයාට. ඔයා ගැන විස්තර ටිකක් කියමුද?

හොඳින් ඉන්නවා. මගේ ගෙදර ඉන්නේ මමයි, අම්මයි, අප්පච්චියි, අයියයි. මම මහරගම හයිලන්ඩ්ස් කොලේජ් එකේ හත ශ්‍රේණියේ ඉගෙන ගන්නවා.

පුතාට රංගනයට අවස්ථාව ලැබුණෙ කොහොමද?

මම කලා ක්ෂේත්‍රයට ආවේ වෙළෙඳ දැන්වීම්වලින්. කාලයක් යන විට ITN නාළිකාවේ විකාශය වුණු කෝපි කඩේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒත් එක්කම සුනිල් ශාන්ත ගීතාන්දරයේ සුනිල් ශාන්තයන්ගේ ළමා කාලය වේදිකාව මත රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හැම අවස්ථාවක්ම ලබා දුන්නේ ප්‍රභාත් දුෂ්‍යන්ත සර් සහ ශානි තරංගනී අබේරත්න නැන්දියි. ඉතින් ඔවුන්ව ආදරෙන් මතක් කරනවා. ටී.වී. දෙරණ නාළිකාවට රංගනය සඳහා ළමයි ගන්නවා කියලා ගයාන් මහගලගේ

සර් දාපූ දැන්වීමකට පොටෝස් දැම්මට පස්සෙ මට ඔඩිෂන් එන්න කියලා කෝල් කළා. මට ඒ පණිවුඩය කිව්වේ මම නාට්‍ය හා රංග කලා හදාරපු තනූජාවී විජේවික්‍රම මිස්. ඒ ඔඩිෂන් එකෙන් මාව තෝර ගත්තේ අම්මා වගේ කියන ටෙලි නාට්‍යයට. ‘අම්මා වගේ’ ටෙලි නාට්‍යය පිටපත රචනය කරලා තිබෙන්නේ තනූජාවී විජේවික්‍රම මිස්. ඒ ගැන මම දැන ගත්තේ පස්සෙ.මමයි මිසුයි අම්මා වගේ ටෙලි නාට්‍යයේ රඟපෑම් කළා. ඒ ගැනත් මට ගොඩක් සතුටු හිතුණා.

මේ දිනවල විකාශය වන ‘දෑස මත මොහොතක්’ ටෙලි නාට්‍යය පුතාට ලැබුණු ආකාරය ගැන කතා කරමු?

‘දෑස මත මොහොතක්’ ටෙලි නාට්‍යයට පෙර මම අම්මා වගේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. අම්මා වගේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ වාසල බණ්ඩාර මාමා. නිෂ්පාදනය ධම්මික අලුත්ගෙදර මාමගේ. අම්මා වගේ ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ පොඩි විජේගේ චරිතයට. පොඩි විජේ කියන චරිතයෙන් මං ගොඩක් ප්‍රසිද්ධ වුණා. අම්මා වගේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව හදලා දුන්නේ තනූජාවී විජේවික්‍රමගේ මිස්. එම ටෙලි නාට්‍යත් මේ වන විට විකාශය වනවා. එම ටෙලි නාට්‍යයෙන් පස්සේ තමයි ‘දෑස මත මොහොතක්’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. එම ටෙලි නාට්‍යට සම්බන්ධ වෙන්න මට අවස්ථාව හදලා දුන්නේ ප්‍රසන්න විජේසිංහ මාමා. එම ටෙලි නාට්‍යයේ මගේ චරිතය ටිකක් දඟකාර චරිතයක්. ‘දෑස මත මොහොතක්’ ටෙලි නාට්‍යයේ දුහුල්ගේ කුඩා කාලය නිරූපණය කරන චරිතය රඟපාන්නේ මම. දුහුල්ගේ චරිතය ගොඩක් අහිංසක චරිතයක්.

පුතාගෙ රංගන කටයුතුවලට ප්‍රේක්ෂකයාගෙන් ලැබෙන ප්‍රතිචාර ගැනත් කියමු?

බොහෝදෙනෙක් කියනවා මම රඟපානවා ගොඩක් ලස්සනයි කියලා. අම්මා වගේ ටෙලි නාට්‍යයේ පොඩි විජේගේ චරිතය ගොඩක් හොඳට රඟපානවා කියලා තමයි බොහොදෙනෙක් කියන්නේ. පොඩි විජේගේ චරිතය දඟකාර චරිතයක්. නමුත් සැබෑ ජීවිතේදී නම් මම එච්චර දඟ නැහැ. ඉතින් ගොඩක් අය පුදුම වෙනවා මං පොඩි විජේගේ වගේ චරිතයක් රඟපාන එකට.

රංගනයට පාසලෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

ඇත්තටම මගේ රංගන වැඩ කටයුතු සහ පාසලේ වැඩ කටයුතු සමබරව කරගන්න පාසලෙන් මට ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. පාසලේ යාළුවෝ සහ ගුරුවරු මම ෂූටින් ගිය දවස්වලට මට නෝට්ස් එවනවා. අතපසු වුණු පාසල් වැඩ සමහර වෙලාවට මගේ යාළුවෝ කියලා දෙනවා. ඉතිං පාසලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා සහ මම රඟපානවා ලස්සනයි කියලා හැමෝම කියනවා.

රංගනයට අමතරව පුතා දක්ෂ වෙනත් දේවල් මොනවද?

මම නර්තනයට කැමැතියි. ගොඩක් හොඳට නම් නර්තනය කරන්න බැහැ. නමුත් මට බටහිර නර්තනය හොඳට පුළුවන්. මම ළඟදී සඳලි කියලා චිත්‍රපටයකුත් කළා. ඒ චිත්‍රපටයේ මගේ චරිතය අහිංසක චරිතයක්. ඉතින් එම චිත්‍රපටය ඩාන්සින් සම්බන්ධ චිත්‍රපටයක් නිසා අපිට ටිකක් ඩාන්ස් කරන්නත් තිබුණා. මම 2024 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට විවෘත අංශයෙන් ඉදිරිපත් වුණා. තනූජාවී විජේවික්‍රම මිස්ගේ ගෝරිල්ලො ඇවිත් කියන වේදිකා නාට්‍යයෙන් තමයි රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට ඉදිරිපත් වුණේ. එතැනදී මට ප්‍රතිභාපූර්ණ රංගන දායකත්වය සඳහා සහතික පත්‍රයක් ලැබුණා.

රංගන කටයුතුවලදී ප්‍රවීණ නැන්දලා මාමලාගෙන් පුතාට ලැබෙන සහයෝගය ගැන මතක් කළොත්?

ප්‍රවීණ නන්දලා මාමලා මට ලොකු සහයෝගයක් දෙනවා. ඔවුන් මට දෙබස් මතක තබා ගන්න ක්‍රම වගේ දේවල් කියලා දෙනවා.

පුතා මුලින්ම කැමරාවක් ඉදිරියට ගියාට පස්සේ මොන වගේ දෙයක්ද හිතුණේ?

මම මුලින්ම කැමරාවක් ඉදිරියට ගියාට පස්සේ ලොකු බයක් නම් දැනුණේ නැහැ. නමුත් පොඩි බයක් හිතුණා. දිගටම රඟපාන විට ඒ බයත් නැති වුණා.

පුතාට ගෙදරින් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු නේද?

මාව ෂූටින් එක්කගෙන යන්නේ අපේ අම්මි. අම්මි මාව ෂූටින් එක්කගෙන යන නිසා අප්පච්චි අම්මිට ගොඩක් උදවු කරනවා. අම්මිට, මාව ෂූටින් එක්කගෙන ගිහින් ඇවිත් උයන්න එහෙම අමාරුයි. ඒ වගේ වෙලාවට අප්පච්චි කෑම හදලා තියනවා. අයියත් මම රඟපාන දේවල්වල අඩුපාඩු කියල දීලා මට උදවු කරනවා.

උමේෂ් පුතාගේ විනෝදාංශ ගැනත් කියමුද?

මම සෙල්ලම් කරන්න ගොඩක් කැමැතියි. ඩාන්ස් කරන්න, ෆුට්බෝල් ප්ලේ කරන්නත් ගොඩක් කැමැතියි.

පුතා අනාගතේ කවුරු වෙන්නද කැමැති?

මම කැමැතියි ගුවන් නියමුවෙක් වෙන්න.

පුතාට අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තිබෙනවද?

මට ගොඩක් ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා. නමුත් පාසල් වැඩ අතපසු වන නිසා අපේ අම්මි ගොඩක් ටෙලි නාට්‍ය භාර ගත්තෙ නැහැ. ඉදිරියේදී අලුත් ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. සුමිත් ගල්හේන සර් අධ්‍යක්ෂණය කළ යොහාන් සමරනායක මාමා නිෂ්පාදනය කළ, මම රංගනයෙන් දායක වන සඳලි සිනමා පටය ඉදිරියේදී ප්‍රේක්ෂකයාට නරඹන්න පුළුවන් වේවි.

World News

Send your contact Details Today