YouTube අවකාශයේ මිනි සීරිස් අතර වැඩිපුරම කතාබහට ලක්වුණ නමක් තමයි ජෝ දිසානායක කියන්නෙ. ඔහු පළමු වරට ඔහුගේ මිනිසීරිස් නිර්මාණයක් රූපවාහිනියට අරගෙන එනව. ඒ ‘බැක්සයිඩ්’ නමින්. මේ නිර්මාණය රූපවාහිනී ප්‍රේක්ෂකයන් මොන විදිහකට භාරගනීවිද? අපි, ජෝ සමග ඒ ගැන කතාබහ කළා.

ජෝ, ‘බැක්සයිඩ්’ නිර්මාණය වෙන්නෙ කොහොමද?
‘බැක්සයිඩ්’ නිර්මාණයට මූලික වෙන්නෙ ශලනි තාරකා. ඇය කියනව වැඩක් තියෙනව, ඉක්මනට කරගන්න ඕන කියල. මගෙනුත් අහනව අදහසක් තියෙනවද කියල. මම කිව්ව අදහසක් තියෙනව, ඒ වගේම ප්ලොට් එකකුත් තියෙනව කියල. ඒ අනුව ශලනිගෙ මාර්ගයෙන් ලක්ෂාන් වත්තහේවා කියන පිටපත් රචකයා අපිට එකතු වෙලා මේ කතාව ලියන්න පටන්ගන්නව. ඒ විදිහට තමයි මේ කතාවේ ආරම්භය සිද්ධ වෙන්නෙ. ඉන් පස්සෙ මෙහි නිෂ්පාදක අශෝක ජයකොඩි මහත්මයා අපිට මුණගැහෙනව. සෝෂල් මීඩියා හරහා තමයි මේ හමුවීම සිදුවෙන්නෙ.

මේ සිදුවීම් සමුදායට කොපමණ කාලයක් ගතවුණාද?
කතාව ලියන්න වගේම රූගත කරන්නත් ගතවුණේ සති එකහමාරයි. ශලනිට විදෙස්ගතවෙන්න තිබුණ නිසා මේ හැමදේම ඉක්මනින් සිදු වුණා.
‘බැක්සයිඩ්’, මේ නම යෙදුවෙ සමාජයේ අවධානය ගන්නද?
මුලදි අපි මේ වැඩේ කළේ නමක් නැතිව. නමුත් අවසානයේ නමක් යොදන්න අවස්ථාව එනකොට විවිධ නම් යෝජනා වෙද්දි මේ කතා තේමාවත් එක්ක මගේ ඔළුවට ආවෙ ‘බැක්සයිඩ් ඕකේ’ කියල. ඉන් පස්සෙ අපි කතාබහ කරල ඕකේ කියන කොටස ඉවත් කරල ‘බැක්සයිඩ්’ කියන නම යොදනව. ඇයි මෙහෙම නම යෙදුවෙ කියල කතාව අවසන් වනතුරු කියන්නෙ නෑ කියලයි මම හිතුවෙ.
ආරම්භයේදීම වැඩි ප්‍රේක්ෂක පිරිසක් කතාව නරඹල තියෙනව?
මං හිතනව මෙගා ටෙලි නාට්‍යවලට වඩා අඩු කොටස් ප්‍රමාණයක නිර්මාණයක් බලන්න ප්රේක්ෂකයන්ගෙ වැඩි කැමැත්තක් තියෙනව කියල. ඒ වගේම විශේෂයෙන්ම කොවිඩ්වලින් පස්සෙ මිනිස්සු අලුත් දේවල් හොයන්න, බලන්න, අලුත් විදිහට දකින්න කැමතියි.
බැක්සයිඩ්, YouTube වෙනුවෙන් කළ නිර්මාණයක්ද?
මම නම් හිතන්නෙ නිර්මාණ කියන දේවල්වලට අපි කැටගරි දාන්න හොඳ නෑ කියල. යූටියුබ් වුණත්, ටීවී වුණත් ඒක විෂුවලි බලන්න පුළුවන් නිර්මාණයක්නෙ. මම මේක කළේ රූපවාහිනී මාධ්‍ය වෙනුවෙන්. මොකද හැමදාම නිර්මාණ දකින විදිහ වෙනස් වෙන්නත් ඕනනෙ.
මේ වගේ නිර්මාණයක් ප්‍රේක්ෂකයන් මොන විදිහට භාරගනීවිද කියල බයක් ඇතිවුණේ නැද්ද?
එහෙම බයක් ඇති වුණේ නැහැ. මිනිස්සු දැන් නිර්මාණයක් දිහා නිර්මාණයක් හැටියට බලනව. එහි අන්තර්ගතයයි ඒ අයට වැදගත් වෙන්නෙ.
නළු නිළියන් තෝරා ගැනීම කළේ කොහොමද?
නළු නිළියන් තෝරාගැනීම සඳහා ශලනිත් සහයෝගය දුන්නා සහ අපි කණ්ඩායමක් හැටියට කතාවෙලා තමයි ඒක කළේ. වැඩකරන්න පුළුවන්, ප්‍රේක්ෂකයා වෙත අවශ්‍ය දේ ගෙනියන්න පුළුවන් පිරිසක් තමයි මම තෝරාගන්නෙ.
කොහොමද ඔවුන්ගෙන් ලැබුණ සහයෝගය?
ඇත්තටම ඉතාමත් හොඳ සහයෝගයක් ලැබුණා. සමහර දවස්වලට ඔවුන් පාන්දර වනතුරු වැඩ කළා.
ඔබ YouTube අවකාශයේ වැඩිපුරම දකින්න ලැබෙන මිනිසීරිස් ඩිරෙක්ටර් කෙනෙක්?
ඔව්, ලංකාවේ නිර්මාණවලට වඩා මම ගොඩක්ම රැඳුනෙ පිටරට නිර්මාණ එක්ක. මම හරිම කැමතියි මිනි සීරිස් වලට. මොකද කතාවෙන් කතාවකට ඉක්මනින් යන්න පුළුවන්. මට ඒ අවකාශය මුලින්ම ලැබුණෙ යූටියුබ් එකෙන්. ඊට කලින් මම සී ෆ්ලික්ස් ෆ්ලැට්ෆෝම් එකට නිර්මාණ කිහිපයක් කළා.
වර්තමානයේ මිනි සීරිස්වලට තියෙන්නෙ මොන වගේ ඉල්ලුමක්ද?
ඇත්තටම වර්තමානයේ මිනි සීරිස්වලට ප්රේක්ෂකයන්ගෙන් හොඳ ඉල්ලුමක් තියෙනව. ඔවුන් කැමතියි ගොඩක් දුර ඇදගෙන යනවට වඩා උච්චතම අවස්ථාවේදී කතාව අවසන් වෙනවට. මම දන්න විදිහට ලෝකයේ මුලින්ම හැදුනෙ මිනි සීරිස්.
මේ වගේ නිර්මාණයක් රූපවාහිනියක විකාශය වන විට කොටස් දිගුවකට වන බලපෑම් තියෙනව?
ඔව්, එහෙම ප්‍රශ්න එනව. නමුත් මම හිතනව මේ නිර්මාණයට එහෙම බලපෑමක් නොවේවි කියල. අපි බලාපොරොත්තු වුණා වගේම කොටස් දොළහෙන් අවසන් කරන්න පුළුවන් වේවි.
ඔබ අතින් නිර්මාණය වුණ, සමාජයේ කතාබහට ලක්වුණ මිනි සීරිස් තියෙනව?
අනුෂ්ක රසාංජන සිල්වා රචනා කළ දෙයාර් ඊස් අ බොඩි යූටියුබ් හරහා කතාබහට ලක්වුණ නිර්මාණයක්. ඊට අමතරව වී සීසන් වන්, සීසන් ටූ, කොම් වගේ නිර්මාණ කිහිපයක් තියෙනව. ඉදිරියේදී යූටියුබ් හරහා විකාශය වෙනුවෙන් මිනි සීරිස් කිහිපයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.

ඇයි ඔබ මිනි සීරිස්වලට වැඩි නැඹුරුවක් තියෙන්නෙ?
එක අතකින් ඒක නිදහස්. අනෙක් කාරණාව වෙන්නෙ වැඩක් මිනිස්සු අතරට යවන්න පුළුවන් වෙන්නෙ මිනි සීරිස් හරහා කියන එකයි මම විශ්වාස කරන්නෙ.
මේ නිර්මාණ තුළින් ‘අමු’ රසක් දෙන්න උත්සාහ කරනව?
මේ අමු රස කියන දේ එළියට එන්න පුළුවන් තැනක් තමයි යූටියුබ් කියන්නෙ. චැනල්වලත් දැන් ඒක වෙනව. අමු කියල හැඳින්වූවාට යම්කිසි රාමුවක් ඇතුළෙ තමයි ඒක සිද්ධ වෙන්නෙ.
ජෝ ගෙ පටන්ගැන්ම සිදු වෙන්නෙ කොහොමද?
මගේ ගමන පටන්ගන්නෙ 2013 අවුරුද්දෙ. ඒ කාලෙ මට ආසාවක් තිබුණා ගායකයෙක් වෙන්න. ඉන් පස්සෙ 2016 අවුරුද්දෙදි පළමු වරට මියුසික් වීඩියෝවක් අධ්‍යක්ෂණය කරනව. ඒ ගමනෙ දිගුවක් විදිහට 2019 වසරෙදි පළමු වෙබ් සීරිස් එක කරනව.
නිර්මාණ තුළින් දකින්නෙ ඔබේම අදහස් ද?
සමහර නිර්මාණ තුළ තියෙන්නෙ මගේ අදහස්. නමුත් මම ලියන්න වැඩි කාලයක් ගන්න නිසා වෙන කෙනෙක් ලවා පිටපත ලියාගන්නව.
එවැනි සුදුසු පිටපත් රචකයන් ඉන්නවද?
ඔව්, බොහෝදෙනෙක් ඉන්නව. ඒ වගේම මිනි සීරිස් කියන දේ ගැන අවබෝධයක් නැති අයත් ඉන්නව.
දීර්ඝ ටෙලියක් කරන්න අදහසක් නැද්ද?
කොටස් සියයක් පමණ වන නිර්මාණයක් සහ කොටස් විස්සක එකක් කරන්න අදහසක් තියෙනව. ඊට අමතරව මම වැඩිපුරම ආසා කරන්නෙ, බලාපොරොත්තුවෙන් ඉන්නෙ සිනමා නිර්මාණයක් කරන්න.