Latest News

“රංගනය කියන්නේ මගේ කැමැත්ත වගේම පැෂන් එක” – කසුනි කාවින්දි

Published 14 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වේදිකාවෙන්, ටෙලි තිරයට පිවිස මේ වන රිදී තිරයෙත් නොමැකෙන මතකයක් බවට පත්ව සිටින රංගන ශිල්පිනී කසුනි කාවින්දි ප්‍රනාන්දුයි. නාඩාගම්කාරයෝ, තණමල්විල කොල්ලෙක්, රාවණා 02 ටෙලි කතා හරහා පමණක් නොව උතුරු සුළඟ, ගජමෑන්, සිහින සමීකරණ ආදී සිනමා නිර්මාණ හරහාද ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනාගත්තා. වාසව බදුගේ ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ ‘නීරා’ සිනමාපටය නිසාම කසුනි ගැන මේ දිනවල ලොකු කතාබහක් ඇතිව තිබෙනවා.

නීරා චිත්‍රපටයේ රශ්මිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම රශ්මි වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ වගේම මගතොටේදීත් මම හිතුවටත් වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එහිදී රශ්මිගේ චරිතය වෙනුවෙන් මගේ රංගන දායකත්වය ගැන වගේම රශ්මිව ඒ අයට දැනුණ විදිය මාත් එක්ක බෙදාහදා ගන්නවා. ඉතිං ඒ ප්‍රතිචාරත් එක්ක බලද්දීත් ඇත්තටම නීරා කියන්නේ මගේ සිනමා ජීවිතයේ මම ජයගත්ත විශාල කඩඉමක්.

ඒත් ඔබේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය, සිහින සමීකරණ චිත්‍රපටය නේද?
මේ දිනවල ජනප්‍රිය නීරා චිත්‍රපටය හැරණුකොට මම මේ වෙද්දි රංගනයෙන් දායක වුණ චිත්‍රපට ත්‍රිත්වයක් තමයි සිහින සමීකරණ, ගජමෑන් හා උතුරු සුළඟ. ඒ අතරින් සසික හේරත්ගේ කුලුඳුල් සිනමා නිර්මාණය වුණ සිහින සමීකරණ චිත්‍රපටයේ රිද්මිගේ චරිතය වෙනුවෙන් මම මෙරට සිනමා උළෙලවල් කිහිපයක වගේම ජාත්‍යන්තර සිනමා උළෙලකත් ඇගයීමට පාත්‍රවුණා. ඒ වෙනතුරු මට ඇගයීම්, නිර්දේශවීම් වගේම සම්මානත් ලැබිලා තිබුණේ වේදිකා රංගනයට පමණයි.

පසුගියදා නිමාවට පත්වූ ඉර හැංගිලා ටෙලි නාට්‍යයේ බක්මීගේ චරිතය හා නීරා චිත්‍රපටයේ රශ්මිගේ චරිතය කියන්නේ හාත්පසින්ම වෙනස් චරිත ද්විත්වයක් නේද?
ඉර හැංගිලා ටෙලි නාට්‍යයේ මම රඟපාපු බක්මී කියන්නේ පිරිමි පෞරුෂයක ගුණාංග තියෙන කෙල්ලෙක්. ඒ චරිතය වෙනුවෙන් අත්ට්‍රැක්ටර් එළවන්න ඉගෙන ගැනීම වැනි කැපවීම් කරන්න මට සිද්ධ වුණා. ඒ අතරේ නීරා චිත්‍රපටයේ මම රඟපාපු රශ්මි ආදරය වෙනුවෙන් ඇපකැප වුණ මාධ්‍යවේදිනියක් විදියට කටයුතු කරපු ආදරය නිසා හිත තුවාල වුණ චරිතයක්. ඒ චරිත දෙකම අභියෝගකාරී වගේම එකිනෙකට වෙනස් චරිත දෙකක්. එහෙම වුණත් නිරන්තර මහන්සිය, කැපවීම, හැදෑරීම් වගේම අත්දැකීම් එක්ක බක්මීට වගේම රශ්මිටත් උපරිම සාධාරණයක් කරන්න මට පුළුවන් වුණා කියලා හිතනවා.

විශේෂයෙන්ම නීරා චිත්‍රපටයේ ඔබට රඟපාන්න සිද්ධ වුණේ ආධුනික රංගන ශිල්පී සෙනිත් ගජවීර සමග. ඔහුගෙන් ලැබුණේ මොනවගේ සහයෝගයක්ද?
ඇත්තටම සෙනිත් රංගනයට ආධුනික කෙනෙක්. නමුත් ඒ ආධුනික බව රංගනයට බාධාවක් කරගත්තේ නෑ. ඔහු මේඝව ගොඩනගා ගන්න ගොඩක් කැපවුණා. ඔහු වැඩ කරන්න ඉතාම පහසු බුද්ධිමත් රංගන ශිල්පියෙක්.

ක්ෂේත්‍රයේ තුළ ඔබට රෝල්මොඩ්ල් කෙනෙක් ඉන්නවද?
එක්කෙනෙක් කියලා නෑ, කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒ අතරේ මෙරට ප්‍රවීණ රංගන ශිල්පිනී චාන්දනි සෙනවිරත්න මහත්මිය වගේම හොලිවුඩයේ වගේම බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංගන ශිල්පීන් කිහිපදෙනෙක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ගේම වෘත්තීයමය ගමන් මග, රංගන විලාසයන් අධ්‍යයනය කරමින් මගේ ගමනට එකතු කරගන්න කාරණා තියෙනවා.

එතකොට ඔබට ලැබෙන නිර්මාණ තෝරා බේරාගන්නේ කොහොමද?
ඒක නිර්මාණ වෙනුවෙන් ආරාධනාව ලැබෙන මොහොතේ ක්ෂේත්‍රය තුළ පවතින තත්ත්වය, මගේ අත්දැකීම්, හැදෑරීම්, රංගන ධාරිතාව, පිටපත සහ චරිතය ගැන මට දැනෙන දේ අනුව තමයි තීරණය වෙන්නේ.

ඔබ දකින විදියට ශ්‍රී ලංකාවේ සිනමාවේදීන් මේ වෙද්දී මුහුණපාන දැවැන්තම අභියෝගය මොකක්ද?
මම දකින විදියට මෙරට සිනමාවේදීන් මුහුණ පාන ලොකුම අභියෝගය ආර්ථික ගැටලු හා හොඳ පිටපත් රචකයන්ගේ හිඟකම.

නිළියක්වෙන එක කසුනි පුංචි කාලේ ඉඳන්ම දැකපු හීනයක්ද?
කවදාහරි දවසක නිළියක් වෙනවා කියලා හීනයක් මට පුංචි කාලේ ඉඳන්ම තිබුණේ නෑ. ඒත් පාසල් කාලේ එක්තරා අවධියකදී විෂයක් විදියට නාට්‍යය හා රංග කලාව හදාරන්න හිතුණා. එහෙම හදාරද්දී තමයි මට තේරුණේ රංගනය කියන්නේ මගේ කැමැත්ත වගේම පැෂන් එක කියලා. ඒ නිසා උසස් පෙළෙන් පස්සේ විශ්වවිද්‍යාලය තුළත් මම රංගනය හැදෑරුවා. ඒ අතරේ දායක වුණ නිර්මාණ ඇසුරෙන් ලබපු අත්දැකීම් වගේම ජීවන අත්දැකීම් පසුකාලීනව මාව වෘත්තීය රංගන ශිල්පිනියක් බවට පත්කළා.

පවුලේ විස්තර කිව්වොත්…

මට ඉන්නේ අම්මා, අයියා, අක්කා. අක්කා මේ වෙද්දී විවාහකයි. ඇයත්, ඇගේ පවුලේ අයත්, අයියා, අම්මාත් මමත් තමයි අපේ පවුලේ ඉන්නේ. තාත්තා මේ වෙද්දී ජීවතුන් අතර නෑ.

ඔබේ ඉදිරි වැඩකටයුතු ගැනත් යමක් කිව්වොත්…
සාමාන්‍යයෙන් මම රංගනය තුළ ඉදිරි සැලසුමක් ඇතුව වැඩ කරන කෙනෙක් නෙවේ. ඒ වෙනුවට මම නිතරම උත්සාහ කරන්නේ මේ මොහොතේ මට ලැබෙන චරිත වෙනුවෙන් ඇපකැප වෙලා උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න තමයි.

දැන්ම විවාහ වෙන්න අදහසක් නැද්ද?
කාලයට සියල්ල භාරදෙනවා.

World News

Send your contact Details Today