මැතිවරණ පරාජයට එරෙහිව කුමන්ත්‍රණ කිරීමේ වරදට වසර 27කට බන්ධනාගාරගත වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ සිරදඬුවම් කාලය අවම කිරීමේ අරමුණින් ඔහුගේ ලිබරල් පක්ෂයේ මන්ත්‍රීවරු නීති ප්රතිසංස්කරණයක් සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් එරට පාර්ලිමේන්තුවේ ගැටුමක් හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනතා ඡන්දයෙන් තේරී පත්වූ පුද්ගලයන්ට බලපාන වසර 70ක් පැරැණි එරට දඬුවම් නීතිය ප්‍රතිසංස්කරණය කිරීමේ යෝජනාව සම්මත කරගැනීමේ උත්සාහයට එරෙහිව වත්මන් ජනාධිපති ලූලා ද සිල්වාගේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරු දැඩි විරෝධතාවක් පළ කිරීමෙන් එම ගැටුම්කාරි තත්ත්වය උදා වූ බව වාර්තා වේ.
විපක්ෂයේ යෝජනාවට විරෝධය පළ කළ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරයකු වන ග්ලවුබර් බ්‍රේගා කථානායක අසුන අත්පත් කරගත් බවත්, ඔහු සභා ගර්භයෙන් ඉවත් කිරීමට පොලිස් නිලධාරීන් කැඳවීමට සිදුවූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.
බොල්සොනාරෝගේ සිරදඬුවම් කාලය වසර දෙකහමාරකට අඩු කරගැනීම සඳහා එම යෝජනාව ඉදිරිපත් කළ බව ලිබරල් පක්ෂයේ මන්ත්‍රීවරයකු පසුව ඒඑෆ්පී පුවත් සේවයට සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.
බ්‍රසීල පාර්ලිමේන්තුවේ හටගත් මේ උණුසුම් තත්ත්වය හමුවේ සජීවී රූපවාහිනී විකාශය ද අත්හිටුවා ඇති අතර, පාර්ලිමේන්තුව ආවරණය කළ මාධ්‍යවේදීන් ඉවත් කිරීමට ද පියවර ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කෙසේ වුවද පැය කිහිපයකට පසු කථානායකවරයාගේ අනුමැතිය යටතේ විපක්ෂයේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති අතර, එය 291-148 ක් ලෙස වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප වී ඇතැයි ද වාර්තා වේ.