අප්‍රිකානු සූකර උණ ශ්‍රී ලංකාව තුළ පැතිරීම සියයට 95කින් පමණ පාලනය කර ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල පවසනවා.
ඇය පවසන්නේ ගොවිපල 2,500ක සිටි ඌරන්ට රෝගය ආසාදනය වීම නිසා ඌරන් 67,000ක් මරා දැමුණු අතර රෝගය වල් ඌරන්ට ද ආසාදනය වී ඇති බවයි.
“දැඩි පියවර ගැනීමෙන් අපි පැතිරීම සීමා කර ගෙන තිබෙනවා. පශු වෛද්‍යවරුන් ඌරු ගොවිපල පරීක්ෂා කර ජෛව ආරක්ෂණ ක්‍රම පවත්වා ගෙන යන බව සහතික කරමින් ආසාදිත ඌරන් සහ මස් ප්‍රවාහනය තහනම් කිරීමට පියවර ගනු ලැබුවා,” යැයි හේමාලි කොතලාවල මෑතකදී පැවති සාකච්ඡාවකදී වාර්තාකරුවන්ට පැවසුවා.
ඒ අනුව දැන් වාර්තා වී ඇත්තේ සිද්ධි ස්වල්පයක් පමණක් බවයි ඇය සඳහන් කළේ.
පළාත් නවය පුරා ගොවිපල 2,500කට රෝගය ආසාදනය වී තිබූ අතර ගොවිපල 251ක් මේ වන විට නැවත විවෘත කර තිබෙනවා.
“වාර්තා වූ මරණ සංඛ්‍යාව 67,000ක්. නමුත් වාර්තා නොවූ මරණ හේතුවෙන් සැබෑ මරණ සංඛ්‍යාව වැඩි බව අපට පෙනෙනවා” ලෙසයි ඇය සඳහන් කළේ.
ශ්‍රී ලංකාව තුළ රෝගයේ ව්‍යාප්තිය ප්‍රථම වරට හඳුනාගනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මාසයේදී බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
ඉන්පසු ඌරන් හෝ මස් ප්‍රවාහනය තහනම් කරමින් රජය ගැසට් පත්‍රයක් නිකුත් කළා.
“රට තුළ රෝගය පවතින බව හඳුනාගත් පසු, පැතිරීම පාලනය කිරීමට අපි පියවර ගගත්තා,” කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලිකා ප්‍රනාන්දු පැවසුවාය
ඒ වන විටත් එය දිවයිනේ ඌරු ගොවිපලවල් වැඩි වශයෙන් සංකේන්ද්‍රණය වී තිබූ බස්නාහිර සහ වයඹ පළාත්වල වේගයෙන් ව්‍යාප්ත වී තිබූ බව ද ඇය සඳහන් කළා.
“මෙම වෛරසයේ ස්වභාවය අනුව එය සියයට සියයක් මාරාන්තික බැවින් බොහෝ ඌරු ගොවිපලවල් විනාශ වුණා. සුව එය වනජීවී ප්‍රදේශ සහ අනෙකුත් පළාත්වලටත් පැතිර ගියා” යනුවෙන් ප්‍රනාන්දු පැවසුවා.
ඒ අනුව රෝගය මධ්‍යම සහ උතුරු පළාත්වලට ද ව්‍යාප්ත වී තිබුණා.
මෙම වේගවත් ව්‍යාප්තියට හේතු කිහිපයක් තිබූ බව ඇය පැවසුවා.
“එකක් නම් බොහෝ ඌරු ගොවිපලවල් අක්‍රමවත් වීමයි. මෙය රෝගය පැතිරීම පාලනය කිරීම පවා දුෂ්කර වුණා. ඒ වගේම මස් ප්‍රවාහනය අහඹු ලෙස සිදුවන්නේ. එමඟින් රෝගය අනෙකුත් ප්‍රදේශවලට වේගයෙන් පැතිරීමට පහසු වුණා” යැයි ද ඇය සඳහන් කළා.
රෝගය පැතිරීම හේතුවෙන් කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටීම නිසා පරිභෝජනය සඳහා මස් හිඟයක් තවමත් පවතින බව ඇය පැවසුවා.
“දැන් කර්මාන්තය ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවක් තිබෙනවා,” යනුවෙන් ඇය පැවසූ අතර, අමාත්‍යාංශය සැලසුම් සකස් කර කාර්ය සාධක බලකායක් පත් කර ඇති බව ද පැවසුවා.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ණය ලබා ගත හැකි වුවද, රෝගය තවමත් බහුලව පවතින බැවින් සමහර බැංකු ණය දීමට පසුබට වන බවයි ඇය පෙන්වා දුන්නේ.
සියලුම ගොවිපලවල් ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීම සහ ඌරන් හෝ මස් ප්‍රවාහනය සඳහා පශු වෛද්‍යවරයකුගේ සහතිකය අවශ්‍ය කිරීම සඳහා දැනට පවතින නීතිවලට වෙනස්කම් සිදු කරන බව ද ඇය පැවසුවා.