වෙළෙඳ දැන්වීම් කලාවේ ප්‍රමුඛයකු සේ සැලකෙන තේජා ඉද්දමල්ගොඩගේ සිනමාවට පිවිසීම සිදු වන්නේ ආශාවරී සිනමාපටය ඔස්සේය. මේ දිනවල තිරගත වන ‘ක්ලැරන්ස් The Rhythm Of the Guitar ඔහුගේ දෙවැනි මෙන්ම අවසාන සිනමා නිර්මාණය ලෙස මේ වනවිටත් බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන ඇත. හැත්තෑව දශකයේ ගී ලොවේ පෙරළියක් කළ ජනප්‍රිය ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වුණු ‘ක්ලැරන්ස් The Rhythm Of the Guitar’ රිදී තිරයේ විශාල පෙරළියක් කරනු ඇති බවට දැනටමත් ඉඟි පළවෙමින් තිබේ. කණ්ඩායම් සංගීතය බිහි කිරීමේ පුරෝගාමීයකු ලෙස රසික සිත් උන්මාදයට පත් කළ ක්ලැරන්ස්ගේ මතකයන් අවුස්සමින් ඔහුගේ ජීවිත කතාව සිනමාරූපීව රිදී තිරය මතට ගෙන එන්නට වෙහෙසුණු ඔහු ද අද අපේ මතකයන් අතරට එක්වී තිබීම කණගාටුවට කරුණකි.
‘ක්ලැරන්ස් The Rhythm Of the Guitar’ ලෙසින් නිමවන්නේ තේජාගේ ලොකුම හීනය බව ද කිව යුතුමය. තම මිතුරු ක්ලැරන්ස්ගේ දිවියේ රසමුසු තැන් සොයා ගිය ඔහු රසයෙන් පිරි ගීතමය සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයාට තිළිණ කරන්නට වෙහෙසුණි. එම සිහිනය තිරය මත දිගහැරෙන තෙක් නොසිටම ඔහු මෙලොව හැර ගියේය. තම පියාගේ මතකයන් අවදි කරමින් ‘ක්ලැරන්ස් The Rhythm Of the Guitar’ ගැන කතා කරන්නට අද අප හා එක්වූවේ ඔහුගේ වැඩිමහල් පුතු වන දිල්ෂාන් ඉද්දමල්ගොඩය.
මේ දිනවල සාර්ථකව තිරගත වන ‘ක්ලැරන්ස් The Rhythm Of the Guitar’ කියන්නේ ඔබේ පියාගේ අවසාන සිනමා නිර්මාණය. ඒ ගැන කතා කළොත්?
ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වුණු ‘ක්ලැරන්ස් The Rhythm Of the Guitar’ කියන්නේ මගේ පියාගේ අවසාන සිනමා නිර්මාණය. ඒක ඔහුගේ හිතේ තිබුණු ලොකුම හීනය කිවුවත් හරි. පළමුවැනි සිනමා නිර්මාණය ආශාවරී. කොවිඩ් වසංගතයත් එක්ක සිනමාශාලා වැහිලා, ප්‍රේක්ෂකයන් සිනමාවෙන් ඈත්වෙලා හිටිය කාලෙකදි වුණත් ආශාවරී සාර්ථකව තිරගත වුණා. ඒ වගේ වාතාවරණයක දින 100ක් දුවපු එකම චිත්‍රපටය බවටත් පත්වුණා. ඉන් පසුව ස්ක්‍රිප්ට් එකක් විදිහට ලියලා කළ එකම චිත්‍රපටය තමයි ‘ක්ලැරන්ස් The Rhythm Of the Guitar’. ඊළඟට කරන්න ඕන මෙන්න මේ වගේ ඒවා කියලා එක එක විදිහේ කන්සෙෆ්ට් ගැන හිතලා තිබුණට ඒවා ස්ක්‍රිප්ට් විදිහට ලියවිලා තිබුණෙ නෑ. අවසානයට කළේ ‘ක්ලැරන්ස් The Rhythm Of the Guitar’.
ඒ සඳහා ඔහුගේ සූදානම කොහොමද ?
ඇත්තටම තාත්තාගේ ලොකු සූදානමක් තිබුණා. රටේ ජනප්‍රිය චරිතයක ජීවිත කතාවක් පැය ගාණකට සීමා කරලා නිර්මාණයක් බිහි කරනවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි. එතැනදි ඒ චරිතය ගැන හොඳට අධ්‍යයනය කරලා හොඳම අවස්ථා ටික කැටි කරගත්තොත් තමයි ඒ නිර්මාණයේ ආකර්ෂණීයත්වය රැඳෙන්නේ. ඔහු ක්ලැරන්ස්ව ඇසුරු කළ කෙනෙක් විදිහට ක්ලැරන්ස් ගැන හොඳින් දැනගෙන හිටියා. ඒ වගේම ඇනස්ලි මාලේවනත් චිත්‍රපටයට අවශ්‍ය සියලු තොරතුරු ලබා දුන්නා. ඒ විදිහට තාත්තා මේකට අවශ්‍ය පසුබිම ගොඩනඟා ගත්තා.
චිත්‍රපටය අවසන් කරන්නත් කලින් ඔබේ පියා හදිසියේ රෝගාතුර වුණු නිසා චිත්‍රපටය අවසන් කරන්න ඔබට ආරාධනා ලැබුණා කියලත් ආරංචියි?
ඔව්. මං මේ ක්ෂේත්‍රය ගැන හදාරලා තිබුණා. වැඩිදුර අධ්‍යයනය කරලා පිටරටකින් උපාධියත් ලබාගත්තා. ඊට අමතරව තාත්තා එක්ක වැඩ කරලා අවුරුදු ගාණක අත්දැකීම් ලැබුවා. ඒ බව දැනගෙන හිටිය නිසා වෙන්න ඇති නිෂ්පාදක පාර්ශ්වයෙන් ඊළඟ ආරාධනය ආවේ මට. නමුත් ඒ අවස්ථාවේ මට ඒක භාරගන්න බැරි වුණු කාරණා කිහිපයක්ම තිබුණා. මට ඕනෑවෙලා තිබුණේ කොහොමහරි මේක තාත්ත අතින්ම ඉවර කරවන්න. මං විදෙස්ගතව සිටියත් ඒ දවස්වල ලංකාවට ඇවිත් හිටිය නිසා නිතරම මං ඔහුව දිරිමත් කළා. තාත්තා අතින් අවසන් වුණා නම් මේක තවත් ලස්සන වෙයි කියලා මට හිතුනා. අනෙක් පැත්තෙන් මට මගේම වැඩකින් එළියට එන්න ඕනකම තිබුණා. ඒ නිසා ඒ වෙලාවේ මට ඒක සුහදව ප්‍රතික්ෂේප කරන්න සිදුවුණා. අදටත් මං ඒ වෙනුවෙන් තුසිත විජයසේන මහත්මයාට ස්තුතිවන්ත වෙනවා.
එතකොට මේ චිත්‍රපටය අවසන් වෙන්නේ කොහොමද?
චිත්‍රපටයේ වැඩ සියයට අනූපහක්ම තාත්තා අවසන් කරල තිබුණා. ඉතිරි සියයට පහ අවසන් වුණේ තාත්තගේ මඟපෙන්වීම අනුව සහාය අධ්‍යක්ෂ, කැමරා අධ්‍යක්ෂ, නිෂ්පාදක ඇතුළු කණ්ඩායමේ එකතුවෙන්. තාත්තා ලෙඩ වුණෙත් වෙලාවක් කලාවක් නැතුව අධික ලෙස මහන්සි වීම නිසා කියලයි මට හිතෙන්නේ. ඒ වෙලාවේ අම්මා ළඟම ඉඳන් තාත්තව සනීප කරගන්න ගොඩක් වෙහෙසුණා. තාත්තා කවදාවත් වැඩක් බාගෙට ඉවර කරන්න කැමැති කෙනෙක් නෙවෙයි. ඒ නිසා අසනීප තත්ත්වයන් තියාගෙනත් නිදි වරාගෙන මහන්සියෙන් වැඩ කළා. ඔහුට ඕන කළේ හොඳ ප්‍රඩක්ට් එකක් එළියට දාන්න. ඒ වෙලාවේ ඔහු ඔහුට පුළුවන් උපරිමය කළා කියලා මං හිතනවා. ‘ක්ලැරන්ස් The Rhythm Of the Guitar’ හොඳ නිර්මාණයක් බවට පත් කරන්න කැපවුණු ලොකු පිරිසක් ඉන්නවා. චිත්‍රපටයේ නිෂ්පාදනය තුසිත විජයසේන, කැමරා අධ්‍යක්ෂණය රුවන් කොස්තා, සංගීත අධ්‍යක්ෂණය සුරේෂ් මාලියද්ද, සහාය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්න සමඟින් සුගන්ධ ජනප්‍රසාද්, කලා අධ්‍යක්ෂණය අයගම මංජුල, එඩිටින් යශෝධ දනුපම, වේශ නිරූපණය ඉන්දික උදාර, ඇඳුම් නිර්මාණය ලසන්ත උඩුකුඹුර, සංවිධාන කටයුතු කළ අසංග නීලවතුර වගේම දමිත්, නිහාරි, සාරංග, දිනක්ෂි, ඉෂංකා ඇතුළු රංගනයෙන් දායක වුණු හැමෝටම ස්තුති කරන්න මං මේක අවස්ථාවක් කරගන්නවා. ‘ක්ලැරන්ස් The Rhythm Of the Guitar’ ගැන සැබෑම හැඟීම කියන්න දැන් ප්‍රේක්ෂක ඔබට බාරයි.
‘ක්ලැරන්ස් The Rhythm Of the Guitar’ වගේ නමක් දාන්න හිතුවේ ඇයි?
තාත්තට ලොකු ඕනකමක් තිබුණා ක්ලැරන්ස්ගේ සින්දුවක නමක් දාන්න. ඇත්තම කිවුවොත් තාත්තා මේකට මුලින්ම දාල තිබුණේ ‘සිහින ලොවින්‘ කියලා. නමුත් යම් යම් නීතිමය තත්ත්වයන් මත සහ ඒ වගේ නම් චිත්‍රපට සඳහා යොදාගෙන තිබිම නිසා ඔහුට ඒ දේ කරගන්න බැරි වුණා. එහෙම නමක් තිබුණ නම් ප්‍රේක්ෂකයන්ට මීටත් වඩා සමීපව දැනේවි කියලා මටත් හිතුණා. අවසන් අවස්ථාවේ නිෂ්පාදකගේ පැත්තෙන් තමයි මේ නම යෝජනා වුණේ. මං ඒකෙ වරදක් දකින්නෙ නැහැ. චිත්‍රපටය සාර්ථකව දුවයි කියන විශ්වාසය මා තුළ තියෙනවා.
ක්ලැරන්ස් – තේජා මිත්‍රත්වයේ රසමුසු තැන් ඔබත් අහලා දැකලා ඇති. අපි ඒ ගැනත් මතක් කරමු?
ඒ කාලෙ මම ගොඩක් පොඩියි. මට මතකයි ඒ කාලෙ ඉඳන් අපේ ගෙදර ඇහුණෙම ක්ලැරන්ස්ගේ ගීත. මගේ අම්මා ශානිකා ඉද්දමල්ගොඩ තමයි ඔවුන්ගේ මිත්‍රත්වය හොඳින්ම දැනන් හිටියේ. අම්මා කිවුව විදිහට ඔවුන් අතරේ ලොකු මිත්‍රත්වයක් තිබිල තියෙනවා. අපේ තාත්තටත් හොඳ සංගීත දැනුමක් තිබුණා. ඒ වගේම බේස් ගිටාර් එක ප්ලේ කරන්නත් ගොඩක් දක්ෂයි. තාත්තා ක්ලැරන්ස්ගේ ලොකුම රසිකයෙක්ලු. මුලින්ම තාත්තා ක්ලැරන්ස්ව හමුවෙන්න ගිහින් තියෙන්නෙත් රසිකයෙක් විදිහට. පස්සේ නිතර නිතර ඔහුගේ ගෙදර ගිහින් කතාබහ කරද්දි දෙන්න අතරේ හොඳ මිත්‍රත්වයක් ගොඩනැඟිලා. ක්ලැරන්ස්ට තාත්තව කොතරම් හිතට අල්ලලා තියෙනවද කියනවා නම් ඔහු ප්ලේ කරපු ඕගන් එකක් තාත්තට දීලා එයාව මතක් වෙන්න තියාගන්න කියලා.
‘ක්ලැරන්ස් The Rhythm Of the Guitar’ සිනමාපටයට ඔබෙන් ලැබුණු දායකත්වය කොහොමද?
මම විදෙස්ගත වෙලා හිටිය නිසා පූර්ණකාලීනව මට දායකත්වයක් ලබා දෙන්න බැරි වුණා. අනිත් එක මේක තාත්තගෙම මහන්සියෙන් කරපු වැඩක්. අවශ්‍ය තැන්වලදි මගේ සහාය දුන්නා. විශේෂයෙන්ම සිනමාපටයේ ප්‍රමෝෂන් සඳහා මං හදපු කැරැක්ටර්ස් කැම්පේන් ගොඩක් වයිරල් වුණා. ඒ පැත්තෙන් මං මගේ හැකියාවෙන් උපරිම සහාය ලබා දුන්නා.
වැඩිමහල් පුතා විදිහට තේජා ඉද්දමල්ගොඩ කියන චරිතය ඔබ දකින්නෙ කොහොමද?
මට නම් ඔහු තනිකරම බ්‍රෑන්ඩ් එකක්. වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්. මීඩියා විෂන් නාමය ලංකාවේ ඕනෑම කෙනෙක් දන්නවා. වෙළෙඳ දැන්වීම් දාහකට වඩා කරල ඇති. මං දන්න තරමින් ලංකාවේ වෙළෙඳ දැන්වීම් වැඩිපුරම කරපු කෙනාත් ඔහු. ඕල්රවුන්ඩර් කෙනෙක් කිවුවත් හරි. චිත්‍ර අඳින්න, ග්‍රැෆික් ඩිසයිනින්, වීඩියෝ එඩිටින්, මියුසික් මේකින් වගේම ගීත ලියන්න, සංගීතවත් කරන්න වගේම මෙලඩි දාන්නත් පුළුවන්. සිනමාව පැත්තෙන් ගත්තොත් අධ්‍යක්ෂණය, තිර රචනය, කන්සෙෆ්ට් ක්‍රියේටින්. ඒ වගේම ඔහු වෙළෙඳ සන්නාම (බ්‍රෑන්ඩ්ස්) ගොඩනැඟීමේත් දක්ෂයි. ඔහුගේ වෙළෙඳ සන්නාම අදටත් ලංකාවේ ඉහළම තලයේ වැජඹෙනවා.
ඔබේ මල්ලි සංගීත් නම් කලා ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඔබ ලබපු දැනුම, අත්දැකීම් ප්‍රයෝජනයට ගන්න අදහසක් නැද්ද?
ඔව්. මගේ මල්ලි හොඳ සවුන්ඩ්ස් ඉංජිනියර් කෙනෙක්. එයා තාත්තගේ මියුසික් පැත්ත, කන්සෙෆ්ට් ක්‍රියේටින් පැත්ත දැනුම අරන් ඒ පැත්තෙන් ඉදිරියට යනවා. මං ඉස්සර ඉඳන්ම ආස කළේ සිනමාවට සහ වීඩියෝ එඩිටින් පැත්තට. මං තාත්තගෙන් ගත්තෙ ඒ පැත්තෙ දැනුම. දැනටමත් මං ඒ පැත්තෙන් වැඩකරගෙන යනවා. ගොඩක් වෙලාවට මං තාත්තාගේ සහාය අධ්‍යක්ෂ විදිහට වැඩ කරල තියෙනවා. විදෙස්ගත වෙලා ඩිග්‍රිය කරද්දි ඒ අත්දැකීම් මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. තාත්තගෙන් ගත්ත දැනුමයි අපේ දැනුමයි එකතු කරලා ඉදිරියේදී අපි හොඳ වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. තාත්තා හැමදාම අපිට කිවුවේ ඔහුව ෆලෝ කරන්න එපා ඔහුට වැඩිය වෙනස් විදිහට හිතන්න කියලා. මං ඒක අදටත් ඔළුවෙ තියා ගන්න කෙනෙක්. ඒක ඇත්ත. එතකොට තමයි අපිට අපේම කියල දෙයක් ක්‍රියේට් කරගන්න පුළුවන් වෙන්නේ. කොහොමත් අපිට කවදාවත් තාත්තා වගේ වෙන්න බැහැ. මටත් ඕන මගේම කියලා ගමනක් යන්න. මගේම වැඩකින් ඉදිරියේදී එළියට එන්න උත්සාහ කරනවා. මටත් ලොකු හීන දෙකක් තියෙනවා. මගේ කුලුඳුල් සිනමාපටය සඳහා මේ වනවිටත් සියල්ල සූදානම්. අපි වැඩක් කරලා කතා කරන්න ඕන කියන තැනයි මං ඉන්නේ.


