Latest News

ආදායම් බදු නිලධාරීන් කාර්යාලය වටලද්දී, බිලියනපතියෙකු සිය දිවි නසා ගනියි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සෝදිසි කිරීම් සහ අත්පත් කර ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් තිබියදී, සුප්‍රසිද්ධ බිලියනපතියෙකු වෙඩි තබාගෙන මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ මියගොස් ඇත්තේ ප්‍රසිද්ධ දේපළ වෙළඳාම් සමාගමක් වන Confident Group හි සභාපති සී.ජේ. රෝයි නම් පුද්ගලයා, බංගලෝරයේ ලැන්ග්ෆර්ඩ් ටවුන් හි පිහිටි ඔහුගේ කාර්යාල පරිශ්‍රයේදීයි.

කේරළ කලාපීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් පසුගිය 28 වැනිදා සිට Confident Group ආයතනයට එරෙහිව මෙම වැටලීම් ආරම්භ කර තිබුණි.

මූලික විමර්ශනවලට අනුව, එදින පස්වරුවේ ආදායම් බදු නිලධාරීන් විසින් රෝයිගෙන් ප්‍රශ්න කිරීම් සිදු කර ඇති බව සඳහන්. ඉන් අනතුරුව, තම මවට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට ඔහු අවසර ඉල්ලා තිබුණ බව සඳහන්.

එහෙත් මිනිත්තු කිහිපයකට පසු, ඔහු පිස්තෝලයකින් තම පපුවට වෙඩි තබාගෙන ඇති අතර, පසුව ඔහු ලේ විලක් මැද වැටී සිටියදී සොයාගෙන තිබේ.

මියයන විට රෝයි 57 හැවිරිදි වියේ පසුවූ අතර, මෙම සිදුවීම සිදුවූයේ කේරළය, කර්ණාටක සහ ඩුබායි යන රටවල ව්‍යාප්ත වී ඇති ඔහුගේ සමාගමේ 20 වැනි සංවත්සරය යෙදී තිබූ දිනයේදීමයි.

රෝයි මහතාගේ සොහොයුරා වන සී.ජේ. බාබු ප්‍රකාශ කළේ ව්‍යාපාරයේ කිසිදු ගැටලුවක් නොතිබූ බවත්, ආදායම් බදු වැටලීම් හේතුවෙන් ඇති වූ පීඩනය ඔහු මෙවැනි දැඩි තීරණයක් ගැනීමට පෙළඹවූවා විය හැකි බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුව මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

ඔහුගේ මෙම හදිසි සහ ඛේදනීය මරණය ලොව පුරා දැඩි අවධානයට ලක්ව තිබේ.

චිරියන්කණ්ඩත් ජෝසප් රෝයි ලෙස කොචි හි උපත ලැබූ මොහු දේපළ වෙළඳාම්, ආගන්තුක සත්කාර, අධ්‍යාපනය, ගුවන් සේවා සහ විනෝදාස්වාදය යන අංශ ඔස්සේ රටවල් කිහිපයක තම ව්‍යාපාරික බලය ව්‍යාප්ත කර තිබුණි.

විශේෂයෙන් ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අමෙරිකා එක්සත් ජනපදය යන රටවල ඔහුගේ ව්‍යාපාර ක්‍රියාත්මක වූ අතර, බංගලෝරයේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ඔහු ඉතා ප්‍රසිද්ධ නාමයක්.

1991 දී ආරම්භ කරන ලද ඔහුගේ සමාගම, 2025 මාර්තු 31 වන විට රුපියල් කෝටි 2,000 කට වඩා වැඩි වත්කම් ප්‍රමාණයක් හිමිකරගෙන තිබූ අතර රටවල් තුනක ව්‍යාපෘති 160 ක් පමණ නිම කර තිබුණි.

ඔහු අති සුඛෝපභෝගී ජීවිතයකට ඇලුම් කළ අයෙකු වූ අතර, ඔහුගේ වාහන එකතුවෙහි Rolls-Royce වාහන 12ක්, Bentley, Mercedes-Benz, Lamborghini සහ Bugatti Veyron වැනි ඉහළ පෙළේ මෝටර් රථ විශාල ප්‍රමාණයක් ඇතුළත්.

මීට අමතරව, ඔහුට Gulfstream G650 පෞද්ගලික ජෙට් යානයක්, මුම්බායි, ඩුබායි සහ ලොස් ඇන්ජලීස් වැනි නගරවල සුඛෝපභෝගී නිවාස සහ විශාල කලා නිර්මාණ එකතුවක් ද තිබූ බව වාර්තාවල සඳහන්.

නිල වශයෙන් තහවුරු කර නොමැති වුවද, සී.ජේ. රෝයිගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියනය ඉක්මවන බව ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ මතයයි.

World News

Send your contact Details Today