මේ දිනවල සාර්ථකව තිරගත වන සිනමා නිර්මාණයකි, ෆාදර්. ෆාදර් අධ්‍යක්ෂණය කරන්නේ චමින්ද ජයසූරිය සහ නිෂ්පාදනය කරන්නේ එමිකා ප්‍රඩක්ෂන් වෙනුවෙන් ආචාර්ය ශාන්ත ගීතදේවය. මෙහි ප්‍රධාන භූමිකාව වන ඩෙස්මන්ගේ චරිතයට පූජන දන්දෙණිය පණපොවද්දී, ඩෙස්මන්ගේ නැඟණියගේ චරිතයට ජීවය දෙන්නේ මනෝජා ප්‍රනාන්දුය. මේ සොඳුරු කතාබහ මනෝජා ප්‍රනාන්දු සමඟයි.
මේ දවස්වල ඩෙස්මන්ගේ නංගි විදිහට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තෙන්ම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ වෙද්දී බොහෝ සිනමා ප්‍රේක්ෂකයන් ෆාදර් චිත්‍රපටය ආදරයෙන් භාරගෙන තියෙනවා. මමත් එහි රංගන දායකත්වය ලබාදෙන නිසා ලැබෙන සතුට ඉහළයි.
කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ….?
මට ඇරයුම් ලැබුණේ අධ්‍යක්ෂ චමින්ද ජයසූරියගෙන්. ඔහු කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ වැඩකරලා තියෙන දක්ෂයෙක්. ඉතින් බොහොම ආසාවෙන් ඒ ඇරයුම භාර ගත්තා. මට පැවරුණේ ඩෙස්මන්ගේ ලොකු නංගිගේ චරිතය. බොහොම කැමැත්තෙන් කරපු නිර්මාණයක්.
මේ වෙද්දී සිනමා නිර්මාණ කීයක් කරලා තියෙනවද?
2017 දී මුලින්ම මම කළෙත් සිනමා නිර්මාණයක්. හැබැයි ඒක එන එකක් නැහැ. මේ වෙද්දී විනෝෂා කිරිවන්දෙණිය අධ්‍යක්ෂණය කළ හෙලෝ ෆ්‍රොම් ද අදර් සයිඩ් තිරගත වුණා. ඊට පස්සේ තරිඳු දේශප්‍රියගේ මංකි මෑන්, ඉන්දික වික්‍රමාරච්චි අධ්‍යක්ෂණය කළ අහස් ගැබ යට සහ කසුන් චන්ද්‍රනාත් පතිරණගේ ත්‍රිමාණ සජීවීකරණ සිනමාපටය වන නතාරි එන්න තියෙනවා.
දැන් වේදිකාවෙනුත් දැක ගන්න ලැබෙනවානේ, ඒ ගැනත් කියමු…
චාලක රණසූරියගේ නවතම නාට්‍ය නිර්මාණය වන අටවන බුවනෙක වේදිකා නාට්‍යය වේදිකාගත වෙනවා. එයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
මනෝජාගේ ගෙදරත් හවසට පොඩි කලාගාරයක් වගේ නේද..?
ඔව්. මම කලාවට පිවිසෙන්නත් හේතු වෙන්නේ ඒදේ තමයි. මගේ තාත්තා චිත්‍ර ශිල්පියෙක්, මූර්ති ශිල්පියෙක් සහ කලාවේ තව දේවල්වල නිරතවෙලා ඉන්න කලාකරුවෙක්. ඉතින් තාත්තා හරි දක්ෂයි කතා කියන්න. තාත්තාව දන්නා අය මම මේ කියන දේ හොඳින් දන්නවා. අම්මාත් රේඩියෝ සිලෝන් එකට සින්දු කියපු කෙනෙක්. හැබැයි මම කලාවට යොමු වෙන්නේ කැස්බෑව සංස්කෘතික මධ්‍යස්ථානය හරහා.
මනෝජාගේ මුල්ම ටෙලි නාට්‍යය ගැන කිවුවොත්
මුල්ම ටෙලි නාට්‍යය පානාමංකඩ. එය රචනා කළේ සමන්ත කුමාර ගමගේ අයියා. ඔහු ඉතාම දක්ෂ තිර රචකයෙක්. අධ්‍යක්ෂණය කළේ රනිල් කුලසිංහ අයියා. හැබැයි පානාමංකඩ විකාශය වෙන්න කලින් පොදු නාට්‍යය විකාශය වුණා.
මනෝජාට දිගටම ඇරයුම් ලැබෙන්නේ ගැමි චරිතවලට නේද?
සමහරවිට මගේ පෙනුමත් ඒකට බලපාන්න ඇති. ඒ එක්කම මම චරිත තෝරාගෙන කරන කෙනෙක් නිසා, මගේ තේරීම් වෙන්නත් ඇති.
තෝරාගෙන කරන කෙනෙක් කිවුව නිසයි මේ අහන්නේ, ප්‍රතික්ෂේප කිරීම් වෙන්නේ මොන වගේ කාරණා නිසාද?
ගුණාත්මක දේ ගැන මම බලනවා. ඒ එක්කම මම මගේ වයිබ් එකේ අය එක්ක වැඩ කරන්න කැමැති කෙනෙක් නිසා මම බලනවා මට වැඩ කරන්න ලැබෙන අය කවුද කියන එක. ඒ එක්කම නිර්මාණයේ අධ්‍යක්ෂවරයා ගැනත් මම හිතනවා.
රංගනයට ආවට පස්සේ ගෙදර අයගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
මගේ ගෙදර අය මාව හරියට විශ්වාස කරනවා. විශේෂයෙන්ම මගේ තාත්තාට මම කරන වැඩ ගැන අවබෝධයක් තිබුණා. අම්මා වුණත් දැනගෙන හිටියා මම කරන වැඩේ හරියට කරලා පරිස්සම්වෙලා එන්න දන්නවා කියන එක.
මනෝජා හිතන විදිහට කලාවේ රැඳෙන්න නම් මොනවද තියෙන්න ඕන..?
මම දකින දේ තමයි ඉවසීම. මට හොඳ ඉවසීමක් තිබුණා. ඒකට හොඳම උදාහරණය තමයි මට මුල්ම ඇරයුම ලැබුණේ 2014දී. ලංකාවේ ඒ වෙද්දී තිබුණු ප්‍රසිද්ධම නිර්මාණවලට. හැබැයි මම හොයන ගුණාත්මක බව තිබුණේ නැහැ. ඒ නිසා මම ඒ දේවල් ප්‍රතික්ෂේප කරලා මුලින්ම එන්නේ 2017 දී නිස්සාර මියුසික් වීඩියෝව හරහා. අන්න ඒ ඉවසීම තියෙන්න ඕනේ. ඒ එක්කම විෂය ගැන හැදෑරීමක් තිබිය යුතුයි. මට තාම මාව මදි. ඒ නිසා මමම ස්වයං අධ්‍යයනයක නිරත වෙනවා.
මනෝජා නිළියක් විදිහට දැන් ස්ථාපිත ද?
ඒක මෙහෙමයි. රංගනය කියන්නේ දැනට මගේ වෘත්තිය. හැබැයි කලාකරුවෙක් විදිහට වෘත්තීය බව මේ රට ඇතුළේ හදා ගන්න පුළුවන්ද කියන එක මුලින්ම හිතන්න ඕනේ. මම විශ්වාස කරනවා සමස්තයක් විදිහට, දැන් ඒ තත්වය ගොඩනැඟෙමින් පවතිනවා කියලා.
ප්‍රේක්ෂකයින්ට කියන්න දෙයක් ඇති…
මගේ ප්‍රේක්ෂකයන්ට මම හරිම ආදරෙයි. ඒ ආදරේ මගේ රඳා පැවැත්මට බලපානවා. හැබැයි ප්‍රේක්ෂකයන් අහිමි වෙයි කියන තැනින් හිතලා මම මගේ විදිහ වෙනස් කරන්න උත්සාහ කරන්නෙත් නැහැ. මම හැමවිමටම හරි දේ වෙනුවෙන් පෙනී ඉන්නවා.
අනාගත බලාපොරොත්තු මොනවද?
මගේම කියන ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒක සාර්ථක කරගත යුතුයි. ඒ එක්කම මැරෙන්න කලින් හොඳ රංගන ශිල්පිනියක් විදිහට මැරෙන එක සහ ජීවත්වෙන ටික කාලය තුළ පවුලේ අය එක්ක නිදහසේ ජීවත්වෙන එක.