2026 වසර ආරම්භ වන්නේ අතිවිශේෂ ආකාශ සංසිද්ධියක් සමඟින් බවට තාරකා විද්‍යාඥයන් පවසයි.
ඒ වසරේ පළමු සුපිරි හඳ (Super Moon) ලෙස පළමු පූර්ණ චන්ද්‍රයා වන ‘වුල්ෆ් මූන්’ (Wolf Moon) අහසේ දිස්වීම නිසයි.
සුපිරි හඳ යනු චන්ද්‍රයා පෘථිවියට වඩාත් සමීප වන ස්ථානයට පැමිණි විට නිර්මාණය වන පූර්ණ චන්ද්‍රයායි.
නාසා ආයතනයට අනුව, එවිට හඳ සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයෙකුට වඩා 14% ක් විශාලව සහ 30% ක් වැඩි දීප්තියකින් දිස්වෙයි.
සඳෙහි කක්ෂය පරිපූර්ණ වෘත්තයක් නොවන බැවින් පෘථිවිය සහ චන්ද්‍රයා අතර දුර මාසය පුරා වෙනස් වන්නක්.
වඩාත් විශ්මයජනක දර්ශනයක් සඳහා ජනවාරි 2 සිකුරාදා හෝ ජනවාරි 4 ඉරිදා හිරු බැස යන අවස්ථාවේ නැගෙනහිර ක්ෂිතිජය දෙස බලන ලෙස තාරකා විද්‍යාඥයන් පවසයි.
නව වසරේ සුපිරි හඳ එහි උපරිම දීප්තියට පැමිණෙන්නේ 2026 ජනවාරි 3 වන සෙනසුරාදා පස්වරු 3.32ටයි.
සුපිරි හඳ නැරඹීමට විශේෂ උපකරණ අවශ්‍ය නොවන අතර එය පියවි ඇසට පැහැදිලිව පෙනෙයි.
එහෙත් දුරදක්නයක් හෝ දුරේක්ෂයක් භාවිතා කිරීමෙන් හඳේ මතුපිට වඩාත් පැහැදිලිව දැකගත හැකියි.
මෙම අවස්ථාවේදී හඳ ජෙමිනි (Gemini) තාරකා පන්තිය තුළ පිහිටන අතර වසරේ දීප්තිමත්ම අවස්ථාවේ පවතින බ්‍රහස්පති ග්‍රහයාට ආසන්නව දිස්වන බව සඳහන්.
‘වුල්ෆ් මූන්’ යන නම පැරණි ඇමරිකානු සහ යුරෝපීය සම්ප්‍රදායන්ගෙන් පැමිණි එකක් බවයි පැවසෙන්නේ.
ශීත සෘතුවේදී ගම්මාන අසල වෘකයන් කෑගසන ශබ්දය ඇසෙන කාලය මෙයින් නිරූපණය වෙයි.
වෘකයන් සාමාන්‍යයෙන් කෑගසන්නේ සන්නිවේදනය සඳහා වුවද, ඔවුන්ගේ භූමි ප්‍රදේශය සලකුණු කිරීමේ උපක්‍රමයක් ලෙසත් වෘකයන් සිය හඬ භාවිත කරන බවට සොයාගෙන තිබන අතර එම ශබ්දය ජනවාරි පූර්ණ චන්ද්‍රයා සමඟ සංස්කෘතිකමය වශයෙන් ද බැඳී පවතින්නක් බැවින් මෙම සුපිරි සඳට වුල්ෆ් මූන් ලෙස යොදා තිබෙන බවයි වාර්තාවල දැක්වෙන්නේ.
ජනවාරි මාසයේ දිස්වන මෙම හඳ 2026 වසරේ දැකගත හැකි සුපිරි හඳවල් තුනෙන් පළමුවැන්නයි.
වසර අවසානයේදී තවත් සුපිරි හඳවල් දෙකක් දිස්වනු ඇති.
ඒ 2026 නොවැම්බර් 24 වැනිදා බීවර් සුපිරි හඳ (Beaver supermoon) සහ 2026 දෙසැම්බර් 24 වැනි දා කෝල්ඩ් සුපිරි හඳ (Cold supermoon) යන ඒවායි.
විශේෂයෙන්ම දෙසැම්බර් 24 (නත්තල් ඒව) දින දිස්වන සුපිරි හඳ 2019 වසරෙන් පසු පෘථිවියට ආසන්නම සහ දීප්තිමත්ම පූර්ණ චන්ද්‍රයා වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.